Wednesday, January 19, 2022

මිල්කො සභාපති එළවා දැමිය යුතු ද?

තෙෂාර ජයසිංහ වෙනුවට රේණුක පෙරේරා ලිට්‍රො සභාපති කිරීම වගේ ම ලසන්ත වික්‍රමසිංහ වෙනුවට රේණුක පෙරේරා මිල්කො සභාපති කිරීමත් ප්‍රඥාවන්ත තීන්දු නෙමෙයි. රටේ ගෑස් අර්බුදයක් තිබුණ නිසා කලබලෙට කොරස් කටෙත් අත දා ගන්න බැරි වෙනවා වගේ ලිට්‍රො සභාපති මාරුව නම් අත්වැරදීමක් වෙන්න පුළුවන්. නමුත් මිල්කෝ ආයතනය? එය මේ වන විට ඉතා ම හොඳින් ක්‍රියාත්මක වන ආයතනයක්.

මිල්කො ආයතනය යහපාලන කාලේ අවසන් වසර තුනේ මිලියන 2000කට වඩා පාඩු ලබමින් ජනතා බදු මුදල් ගිලිමින් පණ ඇද්ද ආයතනයක්. එහෙම ආයතනයක් තමයි, ලසන්ත එහි සේවකයින්ගේ නොමද ආශීර්වාදය සහ කිරිගොවීන්ගේ දායකත්වයත් ලබා ගෙන වසරකට මිලියන 400ක් ලාභ ලබන තැනට දියුණු කරන්නේ. 

ඒ විතරක් නෙමෙයි, මේ වන විට මිල්කො ආයතනය සේවකයින්ට බෝනස් ගෙවීමට වගේ ම කිරිගොවීන්ට ගෙවන මුදල 30%කින් වැඩි කරන්න කටයුතු කරලා අවසන්. ඒ අනුව මිල්කො ආයතනය ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මේ කියන ජාතික සම්පත් වැඩි දියුණු කිරීම දේශීය ආයතන ශක්තිමත් කිරීම මේ වන විටත් ඉතා ම හොඳින් කරමින් තිබෙන ආයතනයක්. එම ලාභ ලැබීමේ රහස තවත් රහසක් තමයි, ආයතනය තුළ සිදු වූ දූෂණය වංචාව විශාල වශයෙන් සීමා කිරීම. 

ලසන්ත ඉවත් කිරීම සඳහා ඉහළට වැරදි තොරතුරු ලබා දෙන අය අතර යහපාලන කාලේ ආයතනයට මිලියන 2000ක් පාඩු වෙද්දි ඒ මුදල සාක්කුවට ගිය, එහෙම නැත්නම් පසුගිය වසර දෙකේ මිල්කො මිලියන 800ක් ලාභ ලබද්දි ඒක තමන්ගේ සාක්කුවට නොගිය අය ඉන්න පුළුවන්.  

එවැනි පසුබිමක පොදුජන පෙරමුණේ පාලන ලේකම් රේණුක පෙරේරාට තනතුරක් දිය යුතු නිසා ම සාර්ථක ලෙස ක්‍රියාත්මක වන ආයතනයක සභාපති තනතුර මාරු කිරීම ආණ්ඩුවට වගේ ම රේණුක පෙරේරාටත් හොඳ නැහැ. ඒ සියල්ලට ම වඩා මේ පත්වීම ඔස්සේ රටට ලබා දෙන පණිවිඩය හොඳ නෑ. ඒ වගේ ම ලසන්ත යුතුකම ජාතික සංවිධානය, වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ වගේ සංවිධාන ගොඩනඟමින් 2015 ඉඳන් යහපාලනාණ්ඩුව ගෙදර යවලා ජාතිකත්වය අපේකම රජයන ආණ්ඩුවක් ගොඩනඟන්න පෙරමුණ ගත් තරුණ නායකයෙක්. 

ඉතින් දේශපාලනඥයින් ආයතන සභාපති මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලවලට නොදමන බව කියමින් අයඳුම්පත් කැඳවලා විශේෂඥ මණ්ඩල යටතේ සම්මුඛ පරීක්ෂණ කරල පත් කළ දක්ෂ සාර්ථක සභාපතිවරයෙක් කිසි ම හේතුවක් නොමැතිව දැහැටි දණ්ඩක් වගේ විසි කිරීමෙන් රටට ලැබෙන පණිවිඩය මොකක් ද? ලක්ෂ 4-5ක් මාසික වැටුපක් ලබමින් ජාත්‍යන්තර ආයතනයක ඉංජිනේරුවකු ලෙස සේවය කර ඒ සියල්ල අතහැර රට වෙනුවෙන් සේවය කරන්න පැමිණි තරුණයෙකුගේ ආත්ම අභිමානයට මොකද වෙන්නේ? එහෙම කරද්දි ජනාධිපතිතුමා ආරාධනා කළත් එදා තාප්පවල චිත්‍ර ඇන්ද, පුරන් කුඹුරු අස්වැද්දු තරුණ පරපුර නැවත රට වෙනුවෙන් ඉදිරියට ඒවි ද?

මේ සියල්ලට ම වඩා රේණුක පෙරේරා ඉන්දික අනුරුද්ධ රාජ්‍ය ඇමැතිවරයා එක්ක වැඩ කරන්න බෑ කියලා තමන්ට පැවරූ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිකමින් ඉල්ලා අස්වී ගෙදර ගිය කෙනෙක්. තමන්ට පැවරූ වගකීම එහෙම අතරමග දාලා ගිය කෙනෙකුට සියලු බාධක ජයගෙන ආයතනයක් සාර්ථකත්වය කරා රැගෙන ආ පුද්ගලයා පැත්තකට විසි කරලා තනතුරු ලබා දීමේ පදනම මොකක්ද කියල මට නම් තේරුමක් නෑ. එහෙම කරල මිල්කො ආයතනය නැවත බිඳ වැටුණොත් ඒ නිසා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එල්ල වන චෝදනා විපක්ෂයේ බොරු චෝදනා වගේ නොතකා හරින්න ජනතාව කටයුතු කරන එකක් නෑ. 

ඒ නිසා මේ අර්බුදකාරී අවස්ථාවේ අප හමුවේ ඇති අභියෝග ජයගනු මිස නැති ප්‍රශ්න නිර්මාණය කර ගෙන ඒ සඳහා පිළිතුරු සෙවීමට කාලය මිඩංගු කළ යුතු නෑ. රටේ අනාගත අභිවෘර්ධිය උදෙසා මේ ආණ්ඩුවේ අනාගත පැවැත්ම වගේ ම එහි ආරක්ෂාව පිළිබඳ නිරතුරුව සිතන මගේ අදහස නම් ලසන්ත වික්‍රමසිංහ කිසිසේත් මිල්කො ආයතන සභාපති ධූරයෙන් ඉවත් නොකළ යුතු බවයි. එම තීන්දුව රටේ යහපත තකා ආපසු හැරවිය යුතු බවයි. රේණුක පෙරේරා අදාළ පත්වීම භාරනොගත යුතු බවයි. රේණුක පෙරේරාට ආණ්ඩුවේ තනතුරක් දිය යුතු ම නම් කළ යුතු වන්නේ පසුගිය වසර දෙක තුළ අපේක්ෂිත ප්‍රතිඵල ලබා නොදුන් ආයතනයකට ඔහු පත්කිරීමය. 

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !