Friday, May 25, 2018

යාපනේ පුස්තකාලය ගිනි තැබුවේ කවුද?



අපි පොත් 97 000ක් සමග යාපනය පුස්තකාලය ගිනි තැබීමට තරම් ශ්‍රේෂ්ඨ ජාතියක් වූයෙමු යැයි ධර්මසිරි බණ්ඩානායක මහතා සෝපාහාසයෙන් පවසා තිබේ. ඔහු මේ කියන්නේ යාපනට පුස්තකාලය ගිනි තැබුවේ සිංහලයා බවය. 2500 වසරක අභිමාණවත් ඉතිහාසයක් සහිත ශ්‍රේෂ්ඨ ජාතියක් යැයි කියන සිංහලයා එවැනි නීච ක්‍රියාවක් කිරීමට තරම් අශිෂ්ට බවය.
එහෙත් කලාකරුවකු, උගතකු තබා සාමාන්‍ය නූගත් සිංහලයකු පවා දළඳා මාළිගාවට ගැහුවේ දෙමළා යැයි කියන්නේ නැත. ශ්‍රී මහා බෝධිය අසළ සිත් ගත් උවැසි උවැසියන් මරා දැමුවේ දෙමළා යැයි කියන්නේ නැත. ඔවුන් කියන්නේ මාළිගාවට කොටි ගැසුවා හෝ ශ්‍රී මහ බෝධියට කොටි ගැසූවා කියාය. එම ත්‍රස්ත ක්‍රියා සාමාන්‍ය දෙමළ ජනතාවගේ ප්‍රහාර නොවන බව අවබෝධ කර ගැනීමට නොහැකි තරම් ඒ ජනතාව මන්ද බුද්ධික නැත.
ධර්මසිරි බණ්ඩාරනායක මහතාගෙන් ඒ ගැන විමසුවහොත් කියනු ඇත්තේ එය විමුක්ති කොටි සංවිධානයේ ක්‍රියාවක් බවය. පීඩිත ජනතාවගේ විමුක්ති අරගලවල දී එවැනි දෑ සිදුවන බවත් තමන් හැම විටම අරගලය සමග සිටින බවත් කියනු ඇත. කොටින්ම එම ප්‍රහාර බෞද්ධයාගේ මුදුන් මල්කඩ වන් දළඳා මාළිගාවට සහ ශ්‍රී මහ බෝධියට පහර දීමට තරම් දෙමළා ශ්‍රේෂ්ඨ ජාතියක් වූයේ යැයි ඔහු කිසි විටක උත්ප්‍රාසයට නඟන්නේ නැත. එම ඛේදවාචක වර්ගවාදී ලේබල අලවා දෙමළාට පහර දෙන්නට යොදා ගන්නේ නැත.
යාපනය පුස්තකාලයට ගිනි තැබූවේ 1981 ජුනි 1 වෙනිදාය. ඊට හේතුව වූයේ ඊට පෙරදා එනම් මැයි 31 වන දා යාපනේ පැවති ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ දේශපාලන රැලියකට ආරක්ෂාව සපයමින් සිටි සිංහල පොලිස් නිලධාරීන් තිදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමය. ඒ සමග උසි ගන්වනු ලැබූ පිරිසක් යාපනය පුස්තකාලය ගිනි තබා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ කාර්යාලට ද පහර දුන්හ.
යාපනය පුස්තකාලයට ගිනි තැබීම බුදුන් වහන්සේට වෙඩි තැබීම වැනි සිද්ධියක් බව 2006 වසරේ දී මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය. යාපනය පුස්තකාලය ගිනි තැබීම පිළිබඳ එවක පැවති තම එජාප ආන්ඩුව වෙනුවෙන් කනගාටුව ප්‍රකාශ කරන බව රනිල් වික්‍රමසිංහ 2016 වසරේ දී ප්‍රකාශ කළේය. ඔහු කනගාටුව ප්‍රකාශ කරන විට එදා එජාප ආණ්ඩුව ඇති කළ කළු ජූලිය, යාපනය පුස්තකාලය ගිනි තැබීම ඔස්සේ බුර බුරා ඇවිළුණු වර්ගවාදී ඊළාම් ගින්නට ජීවිත දහස් ගණනක් බිලි වී තිබිණි.
එජාප මැරයන් විසින් කළ මේ නිහීන ක්‍රියා නිසා ඇවිළුණු ගිනි නිමා දැමූ පසු ධර්මසිරි බණ්ඩාරනායකලා නැවත පරණ තුවාල පාරන්නේ හුදෙක් එකිනෙකා අතර වෛරය අවිශ්වාසය නැවත ඇවිළීම පිණිසය. ඒ ගින්නෙන් සුරුට්ටු දැල්වීමටය. එය මේ රටේ සාමයට ළැදි සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා අවබෝධ කරගත යුතුය. එසේම මේ විනාශය පිටිපස සිටි සැබෑ අපරාධකරු එජාපය බව සඟවා සිංහලයාගේ ඇඟෙ ගසන්නේ වර්තමාන එජාප පාලනය ආරක්ෂා කිරීමට බව වටහා ගැනීම වැදගත්ය.
අනෙක් අතට එම පුස්තකාලයේ තිබූ පැරණි පුස්කොල පොත්වල ලියා තිබුණේ යාපනේ දෙමළ ජනතාවගේ ඉතිහාස කකාව ද බව ද ඒවා විනාශ වීම ඔස්සේ අහිමි වූයේ සිංහලයාගේ උතුරේ ඉතිහාසය වීමට ද ඇති ඉඩ බෙහෙවින් වැඩිය. එසේ බලන කල යාපනය පුස්තකාලය ගිනි තැබීම ආශීර්වාදයක් වී ඇත්තේ බෙදුම්වාදීන්ට මිස මේ රටට ආදරය කරන පිරිසට නොවේ.
කෙසේ වුව ද තම සිත් සතන්හි පුපුරු ගසන සිංහල බෞද්ධ විරෝධය මේ ආකාරයට එළියට දැමීම පිළිබඳ අප සතුටු විය යුතුය. එවිට මේ රටේ කලාකරුවන්ට, බුද්ධිමතුන්ට මුවා වී සිටින භයානක අවතාර හොලමන් හඳුනාගත හැකිය. මේ රටේ සිංහල දෙමළ විරසකය කිසි දිනක සුව නොවන්නට ඉඩ දෙන්නේ මෙවැනි මානව හිතවාදී යැයි කියන වර්ගවාදී, බෙදුම්වාදී, සිංහල බෞද්ධ විරෝධීන් බව අප හඳුනාගත් දිනයක මේ රටට සාමය උදාවනු ඇත. මේ බලවේග විසින් ගොඩනඟන ප්‍රාකාර බිඳ දමා සිංහල දෙමළ ජනතාව නැගෙනහිර බටහිර ජර්මනිය මෙන් නැවත එක්වනු ඇත.

1 comment:

සෙන්නා said...

මෙතන බණ්ඩාරනායක මහතා අදහස් කරන්නේ පොදුවේ ශ්‍රී ලාංකික ජාතිය ගැන නෙමේ ද? මොකද තමන්ගේ රටේ තියන ඒ වගේ වටිනා වස්තුවක් විනාශ වෙන්න දිලා බලන් ඉඳපු රටක් මේ මෑත ඉතිහාසයේ මේ ලොකේ කොහේවත් නැතුව ඇති. රටක් වශයෙන් ඒ මහා නිධානය ‍රැක ගන්න අපිට බැරි වුනා. ඒකට සිංහල, දෙමළ කවුරුත් ලැජ්ජා වෙන්න ඕනා...

 
සිය රට දේ සිරි සැප දේ !