Sunday, July 26, 2009

ඊළඟ කඩුල්ල

ඉකුත් සතියේ ලංකාව හමුවේ තිබූ බරපතලම අභියෝගයක්‌ පහවී ගියේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවට ලැබිය යුතුව තිබුණු ණය මුදල අපට ලැබුණේය. පසුගිය අප්‍රේල් මාසයේ සිටම මෙය දේශපාලන හේතු මත ප්‍රමාද වුවද අවසානයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ම ලංකාවට එය ලබාදිය යුතු යෑයි තීරණය කරන ලදී. මෙයින් සැනසුම් සුසුමක්‌ හෙළන්නේ ලංකාව පමණක්‌ නොව මුළු ලෝකයම යෑයි කිව හැක. ඒ මන්ද යත් අන් කිසිදාකවත් නොකළ ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දේශපාලන හේතුමත ණය මුදල නොදී සිටියේ නම් එය ලෝකයේ අන් හැම රටකටම බලපාන ඉතා නරක පූර්වාදර්ශයක්‌ වනු ඇති නිසාය.

එක්‌ දේශපාලන මර උගුලකින් බේරුණු පසු ලංකාව හමුවේ තවත් එවැනිම මර උගුලක්‌ ඇත. එය වනාහි යුරෝපා සංගමයේ රටවල් විසින් ලංකාවට ලබාදී ඇති GSP+ නමැති බදු සහනය දිගු කරවා ගැනීමේ ප්‍රශ්නයයි. මෙම බදු සහනය ලබාදෙන්නේ අවුරුදු තුනෙන් තුනටය. එය මුල් වතාවට 2005 ජනවාරියේ සිට 2008 දෙසැම්බර් මාසය දක්‌වා ලැබුණේය. එය තවදුරටත් 2011 දෙසැම්බර් මාසය දක්‌වා දිගු කරනවාද නැත්ද යන ප්‍රශ්නය දැන් යුරෝපා සංගමයේ දේශපාලන තීන්දුවක්‌ මත පවතී. එ මක්‌නිසාද යත් කොටි හිතවාදී දෙමළ සංවිධාන හා වෙනත් පුද්ගලයන් විසින් ලංකාවේ බරපතල ලෙස මානව අයිතීන් කඩවෙන බවට දිගින් දිගටම පෙත්සම් යෑවීමයි. මේ බලපෑම්වලට අමතරව පසුගිය වකවානුව පුරාම විපක්‍ෂ නායකවරයා ද විටින් විට යුරෝපීය රටවලට පැමිණිලිකොට තිබිණි. විපක්‍ෂ නායකවරයා එක්‌ අවස්‌ථාවකදී ලංකාවට GSP+ බදු සහනය තවදුරටත් දිගු කර ගැනීමට ලංකාවේ ව්‍යවස්‌ථාව සංශෝධනය විය යුතු බවත් එ අවශ්‍ය සංශෝධනයන් කිරීමට ඔහු පාර්ලිමේන්තුව තුළ අවශ්‍ය තුනෙන් දෙකේ බලය ලබාදීමට සූදානම් බව කියමින් යුරෝපා සංගමයේ බාහිර කටයුතු කොමසාරිස්‌වරිය වන බෙනිටා ෆරේරෝ - වෝල්ඩ්නර් (Benita Ferrero-waldner) මහත්මියට ලිපියක්‌ යෑවුවේය. එයින් නොනැවතී විපක්‍ෂනායකවරයා මේ සම්බන්ධයෙන් යුරෝපයට ගොස්‌ ඇයව මුණගැසී තිබුණේය. මේ ආකාරයට GSP+ නොදෙන තැනට ලංකාව තුළින්ම විශාල බලපෑම් යුරෝපා සංගමය වෙත එල්ලවී ඇත. මේ මොහොත වන විට ලංකාවට තවදුරටත් මේ බදු සහනය ලබාදිය යුතු ද නැත්ද යන්න පිළිබඳ යුරෝපා සංගමය විසින් විමර්ශනය කරමින් සිටී. එම විමර්ශනය ඔක්‌තෝබර් මාසය වන විට අවසන්වීමට නියමිතය. ඉන් පසු මේ බදු සහනය තවදුරටත් ලංකාවට ලබාදෙනවාද නැත්ද යන්න පිළිබඳ යුරෝපා සංගමය විසින් තීන්දු කොට දෙසැම්බර් මාසයේදී තම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇත. මේ දැනට කෙරීගෙන යන විමර්ශනය හා එයට අදාළ වෙනත් කරුණු සම්බන්ධයෙන් මම ලංකාවේ සිටින යුරෝපා සංගමයේ ප්‍රධාන නියෝජිත බර්නාඩ් සැවෙඡ් (Bernard Savage) මහතා සමග "ද අයිලන්ඩ්" පුවත්පත වෙනුවෙන් සාකච්ඡාවක්‌ පවත්වන ලදී. එම සාකච්ඡාවේ කොටස්‌ කීපයක්‌ පහත සඳහන් ආකාරයට පළ කරමු.

ප්‍රශ්නය - ලංකාවට GSP+ බදු සහනය ලබාදීම සම්බන්ධයෙන් දැනට කෙරීගෙන යන විමර්ශනයේ ක්‍රියාපටිපාටි මෙවන් අවස්‌ථාවලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කරන විමර්ශනවලට සමාන ද? GSP+ කියන්නේ වෙළෙඳ කටයුත්තක්‌ නිසා එය අයත්වෙන්නේ දේශපාලන ක්‍ෂේත්‍රයට නොව ආර්ථික ක්‍ෂේත්‍රයටයි.

පිළිතුර - නෑ. අපේ ක්‍රියාපටිපාටිය ගොඩක්‌ වෙනස්‌. GSP+ වෙළෙඳාමට සම්බන්ධ කාරණයක්‌ වුවත් එය ලබාදෙන්නේ මානව අයිතීන් රැකීම පැත්තෙන් ඉදිරියෙන් සිටින රටවලට පමණයි. යුරෝපා සංගමය මේ බදු සහනය ලබාදෙන්නේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව අයිතීන් සම්බන්ධයෙන් තිබෙන ජාත්‍යන්තර සම්මුතීන් 27 ක්‌ අනුමත කොට හා ක්‍රියාත්මක කොට තිබෙන රටවලට පමණයි.

ප්‍රශ්නය - ලංකාව කියන්නේ ආසියාවේ පැරැණිම ප්‍රජාතන්ත්‍රවාදී රටයි. GSP+ බදු සහනය ලබන සෙසු රටවල් 13 හෝ 14 අතර ලංකාව ඒ නිසාම කැපී පෙනෙන්නේ නැද්ද?

පිළිතුර - එක ඇත්තක්‌ වෙන්න පුළුවන්. ඔබ කියනදේට මම මොහොතකටවත් විරුද්ධ වන්නේ නෑ. ලංකාව සමග සසඳනවිට ආසියානු රටවල් අතරින් මෙම GSP+ සහනය ලබන මොංගෝලියාව හා ඇසබයිජානය ප්‍රජාතන්ත්‍රවාදයට එකතු වූයේ 1990 ගණන්වල පමණයි. නමුත් GSP+ බදු සහනය ලබාදෙන්නේ මෙයට නොව අර ජාත්‍යන්තර සම්මුතීන් 27 අනුමත කිරීම හා ක්‍රියාත්මක කිරීම යන කාරණය මතයි.

ප්‍රශ්නය - යුරෝපා සංගමය විසින් දැනට කෙරීගෙන යන විමර්ශනය මූලික වශයෙන්ම ජාත්‍යන්තර සම්මුතීන් 3 ක්‌ සම්බන්ධයෙන් විමර්ශනය කෙරීගෙන යන බව ප්‍රකාශයට පත්වී තිබුණේය. ඒ ජාත්‍යන්තර සම්මුතීන් 3 වන්නේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියත් වදහිංසා පැමිණවීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියත් ළමා අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියත්ය. ඒ ළමා අයිතීන් පිළිබඳ ප්‍රශ්නය පැන නැගෙන්නේ ළමා සොල්දාදුවන්ගේ ප්‍රශ්නය මතයි. මෙම රටේ ළමා සොල්දාදුවන් පාව්චිචි කළේ කොටි සංවිධානයයි. දැන් කොටි සංවිධානය නෑ. කොටි සංවිධානයෙන් කැඩී ගිය කරුණා පිලත් දැන් විසිරී යන්න පටන් අරන්. ඉතින් GSP+ ලබාදීම සඳහා මේ ළමා සොල්දාදු ප්‍රශ්නය ගැන කතා කිරීමේ ඇති තේරුම කුමක්‌ද?

පිළිතුර - මේ විමර්ශනය පටන්ගත්තේ 2008 දී. නමුත් පස්‌සේ තත්ත්වය වෙනස්‌ වෙන්න පුළුවන්. තීරණයක්‌ ගැනීමට පෙර යුරෝපා කොමිසම විසින් සියලු පාර්ශ්වවලින් කරුණු විමසීම් කරන්නෙ මේ නිසයි.

ප්‍රශ්නය - ඔබ ලංකාවේ ජීවත්වී ඇති තානාපති නිලධාරියෙක්‌ විදියට ලංකාවේ දේශපාලනය කොතරම් එදිරිවාදී දැයි ඔබ දන්නවා ඇති. එක්‌ පක්‍ෂයක දේශපාලකයන් අනෙක්‌ පක්‍ෂය ගැන ඔබට කේලම් කීමට කී වාරයක්‌ පැමිණ ඇත්ද? ලංකාවේ කිසි කෙනෙක්‌ අපක්‍ෂපාතී නැති බව ඔබ දන්නවා ඇති. මේ නිසා ඔය විමර්ශන කණ්‌ඩායමට ලැබෙන තොරතුරු අනෙක්‌ පැත්තට හෝ මේ පැත්තට බර එවායි.

පිළිතුර - විමර්ශන කණ්‌ඩායමට සෑම පැත්තක්‌ම නියෝජනය වන ආකාරයට ඉතාමත්ම පුළුල්ව කරුණු දැක්‌වීමට ලැබී ඇති බවට මට සහතික වෙන්න පුළුවන්. අපි කවුරුවත් කියන දේවල් එ ආකාරයෙන්ම පිළිගන්නේ නෑ. ඒවාට සාක්‍ෂිත් ඉදිරිපත් වෙන්න ඕන. මේ ලැබී ඇති සියලුම අදහස්‌ සලකා බැලීම සඳහා අපි ජාත්‍යන්තර කීර්තියට පත් මානව අයිතීන් නීතිය පිළිබඳ මහාචාර්යවරු තිදෙනෙක්‌ මේ විමර්ශන සඳහා යොමු කර තියෙනවා.

ප්‍රශ්නය - මට දැන් අවුරුදු 45 ක්‌ වෙනවා. මගේ මුළු ජීවිත කාලය තුළම ලංකාවේ පවතින ආණ්‌ඩුවක්‌ "මගේ ආණ්‌ඩුවක්‌" යෑයි හැඟීමක්‌ පැවතුනේ අතරින් පතර කාලපරිච්ඡේද කීපයකදී පමණයි. එ මුළු කාලයම ගණන්කර බැලුවොත් අවුරුදු 7 ක්‌ පමණ වනවා ඇති. මෙවන් තත්ත්වයක්‌ තුළ ලංකාවේ මුළු ජනගහනය විසින්ම ප්‍රයෝජනයට ගන්නා ආර්ථික සහනයන් පවතින ආණ්‌ඩුව විසින් යම් දෙයක්‌ කළා හෝ නොකළා හෝ කියමින් අහෝසි කර දැම්මොත් මෙය ඒ රටේ ජීවත්වන සාමාන්‍ය මහජනතාවට සාධාරණයක්‌ වනු ඇතැයි ඔබ සිතනවාද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නම් තම කටයුතුවලට දේශපාලන හේතූන් ගාවගන්නේ නැති නිසා ඔවුන්ට එවැනි ප්‍රශ්නයක්‌ නැත.

පිළිතුර - එ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න ගොඩක්‌ අමාරුයි. GSP+ යනු ආර්ථික සහනයක්‌ වුවත් එය ලබාදෙන්නේ මානව අයිතීන් රැකීම යන කොන්දේසිය උඩයි. GSP+ බදු සහනය සඳහා ඉල්ලුම් කරන රටවල් එ කොන්දේසිය පිළිඅරගෙන තියෙනවා. මේ සහනය ලබාදිය යුතු කොන්දේසි යුරෝපීය නීතියෙන්ම නියම කරල තියෙනවා.

ප්‍රශ්නය - යුරෝපා සංගමය විසින් තමා ගන්නා තීන්දුවලින් ඇතිවිය හැකි ආනිසංස, එනම් එයින් ඇතිවිය හැකි අහිතකර බලපෑම් සැලකිල්ලට ගැනීමට ඉඩක්‌ තිබෙනවාද? යුරෝපා සංගමයේ ක්‍රියාවක්‌ නිසා යම් රටක ආණ්‌ඩුවට කිසිසේත්ම සම්බන්ධ නැති, දේශපාලනයටවත් සම්බන්ධ නැති, ආණ්‌ඩුවේ ක්‍රියාකාරකම් හෝ පැහැරගැනීම් වලටත් සම්බන්ධ නැති, විශාල පිරිසකගේ ජීවනෝපායන්වලට එකී තීන්දුව බලපාන්නේ නම් එය සාධාරණ තීන්දුවක්‌ විය හැකිද?

පිළිතුර - අප කටයුතු කරන්නේ අපේ නීතියට අනුවයි. මානව අයිතීන් රකින රටවලට වැඩිපුර සහන ලබාදිය යුතු බව අපේ විශ්වාසයයි. කෙසේ වෙතත් යුරෝපා කොමිසම විසින් ඔක්‌තෝබර් මාසයේදී කරන නිර්දේශ එක්‌කෝ පිළිගැනීමට නැතිනම් ප්‍රතික්‍ෂේප කිරීමට යුරෝපා සංගමයේ තනි තනි රටවල්වලට හැකියාව තිබෙනවා.

ප්‍රශ්නය - GSP+ ලබාගැනීමට නම් අනුමත කළ යුතු හා ක්‍රියාත්මක කළ යුතු ජාත්‍යන්තර සම්මුතීන් 27 ක්‌ ගැන අපි කථා කළා. නමුත් ලෝකයේ කිසිදු රටකට මේ සම්මුතීන් 27 එ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට හැකියාවක්‌ නෑ. ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී රටවල පවා මේ සම්මුතීන් 27 න් කුමක්‌ හෝ උල්ලංඝනය කළා යෑයි චෝදනා කරන්න පුළුවන්. මේ සම්මුතීන් 27 පරමාදර්ශයක්‌ පමණයි. අවසානයේදී තීන්දුවක්‌ ගැනීමට සිදුවන්නේ මේ සම්මුතීන් කොතෙක්‌ දුරට ක්‍රියාත්මක කළා ද යන ප්‍රශ්නය මතයි. මෙවැනි තත්ත්වයක්‌ යටතේ ඔබ තීන්දුවක්‌ ගන්නේ කෙසේද?

පිළිතුර - මේ ලෝකයේ අංගසම්පූර්ණ කිසිවක්‌ නෑ. නමුත් අංගසම්පූර්ණවීමත් "කිසිසේත්ම නොතිබීමත්" අතර විශාල වෙනසක්‌ තියෙනවා. අපි මේ ක්‍ෂේත්‍රයේ විශේෂඥ දැනුමක්‌ තිබෙන වෘත්තිකයන්ට මේ විමර්ශනය භාරදී ඇත්තේ එ නිසයි.

මේකේ මට්‌ටම් 2 ක්‌ තියෙනවා. එකක්‌ වන්නේ අංගසම්පූර්ණව ක්‍රියාත්මක කිරීමයි. අනෙක වන්නේ කිසිදු ක්‍රියාත්මකවීමක්‌ නොමැතිවීමයි.

ප්‍රශ්නය - යම් හෙයකින් යුරෝපා සංගමය විසින් GSP+ බදු සහනය අත්හිටු වූවොත් එය ලංකාවේ ප්‍රතිසංස්‌කරණ වැඩපිළිවෙළට පහරක්‌ වන්නේ නැත්ද?

පිළිතුර - මම ක්‍රියාකාරී වශයෙන් සහභාගි නොවන ක්‍රියාදාමයක්‌ සම්බන්ධයෙන් අනාවැකි කීමට මම කැමති නෑ. තවමත් සිදු නොවී ඇති දෙයක්‌ ගැන විශ්ලේශන ඉදිරිපත් කිරීමට මම සූදානම් නෑ. මම ඉතා අවධාරණයෙන් කියා සිටින්නේ තවමත් යුරෝපා කොමිසම විසින් ඒ පැත්තට හෝ මේ පැත්තට තීන්දුවක්‌ ගෙන නැති බවයි.

සී. එ. චන්ද්‍රප්‍රේම

(දිවයින_09/07/27)

ටිප්පණිය_එජාපයේ යාවජීව නායක රනිල් වික්‍රමසිංහ සූරීන් ත්‍රියා කරන්නේ ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස නොව ශ්‍රී ලංකාව නමැති රටේ විරුද්ධ පක්ෂ නායකයා ලෙස බව අපි මීට පෙර ද කීවෙමු. ඉහත ලිපියෙන් ද සනාථ වන්නේ එහි ඇති නිවැරදිතාවයි. ඔහුට අවශ්‍ය රට සහ ජනතාව කුමන හෝ අගාධයකට ඇද දමා රජවීමට ය. දවසක් හෝ රජවීමට ය.

මෙය මහත් අන්තරායදායක ව්‍යාදියෙකි. එහි ප්‍රතිඵලය ලෙස බොහෝ දෑ හිතැති යූඇන්පීකාරයෝ බුරුතු පිටින් පක්ෂය හැර යති. එය ද ඛේදයකි. රටක ප්‍රබල විපක්ෂයක් තිබිය යුතු ය. එහෙත් අද විපක්ෂය දිනෙන් දින වඳබහියි. අද පවතින අලුත් දේශපාලන වටපිටාවට සවිඥානික නොවී ගතානුගතික ලෙස ආණ්ඩුව කරන හැම දේට ම විරුද්ධ වන විපක්ෂයක ඉරණම මෙසේ තීන්දුවීම පුදුමයක් ද නොවේ.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !