Monday, June 15, 2009

සුමිතුරෙකුට සුභපැතුම්!

ශ්‍රී ලාංකීය ජනතාවගේ අතිශය කුළුපග මිත්‍රයකු විශිෂ්ට ජයක් ලබා තිබේ.

පසුගියදා පැවැති ඉරාන ජනාධිපතිවරණයෙන් ජනාධිපති මොහොමඩ් අහමදිනිජාඩ් යළිත් වරක් ලැබු ජයග්‍රහණයයි ඒ.

අප හිත මිත්‍ර මොහොමඩ් අහමදිනිජාඩ් මේ ලබන්නේ සුළුපටු ජයග්‍රහණයක් නොවේ. ඔහු සමස්ත ඡන්ද ප්‍රතිඵලයෙන් 62.63% ක ජනවරමක් ලබා ගන්නා අතර ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදී අපේකෂකයා වු හුසේන් මුසාවි ලබාගන්නේ 33.75% ප්‍රතිශතයක ඡන්ද ප්‍රමාණයක් පමණි.

ඇත්ත වශයෙන්ම මොහොමඩ් අහමදිනිජාඩ් අභියස මේ දැවැන්ත පරාජය ලබන්නේ හිටපු අගමැතිවරයකු වුද සංශෝධනවාදී දේශපාලන පකෂයේ නායකයා වුද හුසේන් මුසාවි පමණක් නොවේ.

ඇමරිකා එක්සත් ජනපදයත් බ්‍රිතාන්‍යයත් ප්‍රමුඛ ඉරාන ජාතික ව්‍යාපාරයට එරෙහි සමස්ත බටහිර බලවේගයමත් හුසේන් මුසාවි සමග මෙහිදී පරාජයට පත් කරනු ලැබ තිබේ.

ඉරාකය ලෝක සාමයට තර්ජනයක් යැයි ද එහි න්‍යෂ්ටික ආයුධ නිපදවන්නේ යැයි ද අභුත චෝදනා කරමින් එයට පහරදී එය නැවත ගල් යුගයට යැවු මේ ඇමරි - බ්‍රිතාන්‍ය ගණංකාර සමාගම තම හිරි ඇර ගන්නට ඊළඟට හැරී බැලුයේ ඉරානය දෙසය.

එහෙත් ඒ බැල්ම පිළිස්සුණු තෙල් බැරලයක් තරම්වත් ගණන් නොගත් නිර්භීත නායකයකු එකල්හි ඉරානය සතුව සිටියේය. මුළුමහත් ඉරානයම ඒ මිනිසා පසුපස සිටියේය. අවසානයේදී ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවේගයට සිදුවුයේ පියවර ගණනාවක් පසුපසට යන්නටය.

මුහුණට මුහුණ කතාකොට ප්‍රශ්න විසඳා ගැනීම අපහසු වන විට ආපසු හැරී සයිඩ් එකෙන් ගැසීම බටහිර ලෝකයේ සාමාන්‍ය සිරිතය.

එය ද නොහැකි වන විට තමන්ට නුරුස්නා රට හුදෙකලා කරවන්නට ලෝකයේ සෙසු රටවල් රුස්වන තැන්වලට ගොස් කේළාම් කීම බටහිර බලවතුන්ගේ ඊළඟ සිරිත වේ.

එයද නොහැකි වන විට තම ප්‍රතිමල්ලවයාට එරෙහිව එම රට තුළින්ම "බුවෙකු" අල්ලා ගැනීම බටහිර බලවතුන්ගේ ඊළඟ සිරිතය. තමනට ගැති "බුවා"ලා ලෝකයේ සෑම රටකම සිටින බව දන්නා මේ බටහිරයෝ එම ගැත්තන් වෙනුවෙන් හැම කල්හිම පහසුකම් සපයන්නෝය.

තමන් ත්‍රස්තවාදය විනාශ කිරීමට කැපව සිටින්නේ යැයි ලෝකයටම ශපථ කොට සිටියත් තම ගැත්තන් ත්‍රස්තවාදීන් වීමේ ප්‍රශ්නයක් ඔවුනට නැත. ඔවුනට අවශ්‍ය වන්නේ තමන්ට ආණ්ඩු මටිටු කිරීමට අපහසු රාජ්‍යය හෝ රාජ්‍ය නායකයා හෝ මොන යකා ලවා හෝ මර්දනය කරවීමය.

බටහිර බලවතුන් එම ක්‍රියාවන් අත්හදා බැලීමට ගොස් හොඳටම අත පුච්චාගත් ස්ථානය මෑතක ශ්‍රී ලංකාවය. එහෙත්, ලෝක බලව්‍යුහය තුළ ඉරානයට රිද්දවීම ශ්‍රී ලංකාවට රිද්දවනවාට වඩා බොහෝ සෙයින් එයට වැදගත්ය.

ඒ සඳහා ඔවුන්ගේ තෝරා ගැනීම වුයේ මොහොමඩ් අහමදිනිජාඩ්ගේ සුප්‍රකට ප්‍රතිමල්ලවයා වු බිර් හුසේන් මෝසාවිය.

එහෙත් ඉරාන ජනතාව එළඹි ජනාධිපතිවරණයෙන් මෝසාවි අන්ත පරාජයකට පත් කරති.

දැන් ටෙහෙරානයේ කලබලය. මෝසාවිගේ උදව්කරුවෝ බස් ගිනි තබති. කඩ සාප්පු කඩති. මැතිවරණය දුෂිත යැයි චෝදනා කරති. මේ සියල්ල පසුපස ද බටහිර බලවතුන් නොමැත්තේ යැයි කිව හැක්කේ කාටද?

ඒ කෙසේ වුවත් මොහොමඩ් අහමදිනිජාඩ් අප හිතවත් ජනාධිපතිවරයා වටා සැබෑ ඉරාන ජනබලවේග පෙළගැසී තිබෙන බවට අපට සැකයක් නොමැත. අපි ඉරාන ජනතාවටත් විජයග්‍රාහී ජනාධිපතිවරයාටත් අපගේ උණුසුම් සුබපැතුම් පිරිනමමු.

(දිවයින_09/06/16)

පසුවදන_රටකට අවශ්‍ය කවර වර්ගයේ නායකයෙකුදැයි ඇසුවහොත් මා එකවර ම යෝජනා කරන්නේ මොහොමඩ් අහමදිනිජාඩ් වර්ගයේ නායකයෙකි යන්න ය. ඔහු සැබෑ දේශප්‍රේමියෙකි. සරල මිනිසෙකි. අභිමාණවත් නායකයෙකි. ඔහුගෙන් ලෝකයට ගත හැකි ආදර්ශ එමට ය. අපේ නායකයින්ට ද ඔහුගේ සරල දිවි පෙවෙත කදිම ආදර්ශයකි. ඉතින් ඉරාන ජනාධිපතිතුමාට සුබ පතන්න ලොව පුරා ප්‍රගතිශීලි ජනතාව සමග අපි ද එක්වෙමු.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !