Sunday, September 30, 2012

මගේ සිහිනය

2/3ක බලයක් සහිත වර්තමාන ආණ්ඩුව විසින් කළ යුතු ඉතා වැදගත් කාර්යය දෙකක් තිබේ. එකක් පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමයි. අනෙක බෙදුම්වාදයට සුජාතභාවය සපයන රටට බරක් වී ඇති පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමයි. පළාත් සභා අහෝසි කොට රටේ ඒකීයභාවය ශක්තිමත් කිරීමට නැවත ඉතිහාසය විසින් අපට අවස්ථාවක් ලබා දෙනු ඇතැයි සිතිය නොහැකිය. එහෙත් දේශපාලකයින්ගේ හතර වරිගයට රැකියා සපයන අතිශය ලාභදායි පළාත් සභා කර්මාන්තය එලෙස අහෝසි කිරීමට ඔවුන් කැමති නැත. එහෙයින් අපට අකමැත්තෙන් වුව පළාත් සභා ක්‍රමය ගැන නිතර කතා කරන්නට සිදුවේ. ඒ මේ මොහොතේ එය යථාර්ථය හෙයිනි.

නැඟෙනහිර මැතිවරණය සඳහා ආණ්ඩුව මැනවින් මුහුණ නොදුන් බව අපි මීට පෙර ද කීවෙමු. ශක්තිමත් සන්ධානයක් වෙනුවට එකට ආණ්ඩුවේ කැබිනෙට්ටුවේ ළඟින උන්ම උනුනුන්ට චෝදනා කර ගනිමින් කා කොටා ගනිමින් බෙදුම්වාදී සතුරාට හොඳ පසුබිමක් නිර්මාණය කළේ සන්ධානයයි. දැන් මුස්ලිම් කොංග්‍රස් ශයිලොක්ට මස් රාත්තලම ලැබෙන පරිදි පළාත් සභාව පිහිටුවා ඇමති මණ්ඩලය පත් කොට තිබේ. ඇමති මණ්ඩලයේ මහ ඇමති ඇතුළු තිදෙනෙක් මුස්ලිම්ය. එක් අයෙක් සිංහලය. දෙමළ කිසිවෙක් නැත. ආණ්ඩු පක්ෂයේ සිටින ජනතාව පත් කළ එකම දෙමළ නියෝජිතයා හිටපු මහ ඇමති ශිවනේෂතුරෛයි චන්ද්‍රකාන්තන්ය. සන්ධාන ප්‍රසාද ආසනය සඳහා ද දෙමළ නියෝජිතයෙකු පත් කොට තිබේ.


යුද්ධයේ අමිහිරි මතකයන් තවමත් දෙමළ ජනතාවගේ සිත් තුළ තිබේ. මතවාදය කුමක් වුව ද පසුගිය යුධ සමයේ ඔවුන්ගේ නෑ හිත මිතුරු බොහෝ දෙනා යුද්ධයේ ගොදුරු බවට පත්ව ඇත. ඔවුන් අතට තුවක්කු දී රජය සමඟ සටනට ඔවුන් දක්කන ලද්දේ කොටි ඇතුළු බෙදුම්වාදීන් වුව ද ඔවුන් වෙඩි කා මිය ගියේ ආණ්ඩුවේ හමුදා අතින් හෙයින් වරදකරු රජය යැයි ඔවුන්ට පහසුවෙන් ඒත්තු ගැන්විය හැකිය. යුද්ධයෙන් තුවාල වී ඇති ඔවුන්ගේ ආධ්‍යාත්මය වහා ජාතිවාදී අදහස්වලින් ඔද්දල් කළ හැකිය. ආතුර කළ හැකිය. දෙමළ රාජ්‍ය පක්ෂය මෙවර නැඟෙනහිර ආසන 11ක් ලබා ගැනීම පිටුපස ඇති රහස එයයි. ඔවුන්ට අවශ්‍ය දෙමළ ජනතාව සිංහලයින් සමඟ එකට ජීවත් වීමට අකමැති බව ද මධ්‍යම ආණ්ඩුවට අවනත නැති බව ද ලෝකයට ප්‍රදර්ශනය කොට කොටි ලවා යුද්ධයෙන් දිනාගත නොහැකි වූ ඊළම එක්සත් ජාතීන් ලවා නොමිලේ ම ලබා ගැනීමයි. දෙමළ රාජ්‍ය පක්ෂයේ මේ අදහස ආණ්ඩුව අවබෝධ කරගත් බවක් නොපෙනේ. ඔවුන්ගේ පටු අරමුණවලට සරිලන පළාත් සභාවක් නැඟෙනහිර පිහිටුවීමෙන් එය සනාථ වේ.

ආණ්ඩුව නැඟෙනහිර සිංහල දෙමළ මුස්ලිම් සියලු ජාතීන්ගේ ඡන්ද ලැබූ බව සත්‍යයකි. එහෙත් බොහෝ දෙමළ පිරිසක් දෙමළ රාජ්‍ය පක්ෂය කෙරෙහි තව දුරටත් විශ්වාසය තබා තිබේ. ගිය වර දෙමළ මහ ඇමතිවරයෙක් පාලනය කළ පළාත් සභාවේ මෙවර කිසිදු දෙමළ ඇමතිවරයෙක් නොමැතිවීම අප රටක් ලෙස ලද පරාජයක් බව මගේ හැඟීමයි. එමෙන්ම එය බෙදුම්වාදයේ ජයග්‍රහණයකි. තමන්ගේ ජාතියේ නියෝජනයක් නොමැති පාලනය දෙමළ අය තව තවත් මධ්‍ය කේන්ද්‍රයෙන් ඈතට තල්ලු කරනු ඇත. එය අනෙකෙකු විසින් තමන් පාලනය කරන්නේය යන හැඟීම පහසුවෙන් ඇති කළ හැකි තතත්ත්වකි. එය ඔවුන්ගේ අභිමාණය පිළිබඳ මානසික ප්‍රශ්නයක් ද වනු ඇත.

සැබවින් ම පළාත් සභාවේ ඇමති මණ්ඩලය පත් කළ යුතුව තිබුණේ සන්ධානයට ඡන්ද දුන් පදනම අනුව නොව මේ මොහොතට අවශ්‍ය සමාජ දේශපාලන උපක්‍රමවලට සරිලන අයුරිනි. නිදසුනක් ලෙස ඇමති මණ්ඩලය තුළ ප්‍රබල අමාත්‍යංශ කිහිපයක් දරන දෙමළ ඇමතිවරයෙක් සිටියේ නම් අදාළ ඇමති මණ්ඩලය ලෝකය හමුවේ වඩා ප්‍රබල එකක් වනු ඇත. එනම් දෙමළ රාජ්‍ය පක්ෂය දිනූ ආසනවල දීප්තිය අඩු වනු ඇත. එම පාලනය තමන්ගේ පාලනයක් නොවේ යැයි ආණ්ඩුවට ඡන්දය නොදුන් දෙමළ ජනතාවට වුව පහසුවෙන් සිතිය නොහැකි වනු ඇත. දැන් සිදුව ඇත්තේ සිංහල සහ මුස්ලිම් ඇමති මණ්ඩලයක් නැඟෙනහිර පාලනය කරන බව ද දෙමළ නියෝජිතයින් විපක්ෂය බව ද ඉතා හොඳින් ලෝකයට පෙනෙන්නට සැලැස්වීමය. මේ වනාහි බෙදුම්වාදීන්ගේ මනදොළ පුරවාලන තත්ත්වයකි. දෙමළ ජනතාව බෙදුම්වාදීන්ට පාවදීමකි.

දෙමළ ජනතාව නැවත දිනා ගැනීම සඳහා යටිතල පහසුකම් ගොඩනැඟීම මෙන් ම ඔවුන්ගේ හදවත් සමඟ සියුම් සංවේදී ගනුදෙනුවක් ආරම්භ කිරීම ද වැදගත්ය. ඇතැම් විට රුපියල් මිලියන ගණනක් වියදම් කොට දිනාගත නොහැකි ජනතා මතයක් ඔවුන්ගේ හදවත් හඳුනා ගෙන කරනු ලබන ඉතා සුළු දෙයකින් දිනාගත හැකිය. වසර 30ක් පමණ ෆැසිස්ට්වාදය යටතේ ජීවත්වූ දෙමළ ජනතාව නැවත ප්‍රජාතන්ත්‍රවාදය මත විශ්වාසය තැබීම ම අප රටක් ලෙස ලද ජයග්‍රහණයක් බව අමතක කළ යුතු නැත. එහෙයින් එම ජයග්‍රහණය සමස්ත රටේ ජයග්‍රහණයක් බවට පත් කිරීමට කටයුතු කිරීම සැමගේ වගකීමයි. කෙසේ වුව ද සන්ධානය සිය ප්‍රසාද ආසනය සඳහා දෙමළ නියෝජිතයෙකු පත් කිරීම අපි අගය කරමු.

දෙමළ ජනතාවට තව තවත් පාලන කටයුතු හා සම්බන්ධ කර ගනිමින් එය ඔවුන්ගේම නියෝජිතයින්ගේ පාලනයක් බව සිතන තැනට යාමට දෙමළ ජනතාවට උදව් කළ යුතුය. උතුරු නැඟෙනහිරින් උගත් බුද්ධිමත් සියලු ආකාරයේ බෙදුම්වාදයන් ප්‍රතික්ෂේප කරන තරුණ පිරිසක් නිර්මාණය කර ගැනීම අද රට හමුවේ ඇති ජයගත යුතු ප්‍රධාන අභියෝගයකි. එවන් පිරිසක් නිර්මාණය කොට ඔවුන් රාජ්‍ය පාලන කටයුතුවලට සම්බන්ධ කරගත යුතුය. ඔවුන්ට රජයේ ප්‍රධාන වගකීම් ලබාදිය යුතුය. කොටින් ම අනාගතයේ මේ රටේ දෙමළ කතා නායකවරු, ඇමතිවරු, අගමැතිවරු පමණක් නොව ජනාධිපතිවරු ද බිහිවිය යුතුය. මා දැන් දිවා රෑ දකින සිහිනය එයයි. බෙදුම්වාදයට සදාතන විසඳුම ද එයයි.   

Thursday, September 27, 2012

පිල්ලේයාන්ට ජනාධිපති උපදේශක තනතුරකට නුසුදුසු ඇයි?

ශිවනේෂතුරෛයි චන්ද්‍රකාන්තන්ට ජනාධිපති උපදේශක තනතුරක් දීම පක්ෂ විපක්ෂ බොහෝ දෙනාගේ සරදමට හේතුවක් වී ඇත. ආණ්ඩු විරෝධීහු සහ රාජ්‍ය විරෝධීහු එලිපිට එය විවේචනය කළහ. කාටුන් ඇන්දෝය. ආණ්ඩු පාක්ෂිකයෝ ද ඊට හූ මිටි තබමින් එම විවේචන අනුමත කළහ. ඒ අර්ථයෙන් ගත් කල රටේ පක්ෂ විපක්ෂ බහුතරයකගේ අදහස ඔහු එම තනතුරට නුසුදුසු බවය. ඇත්ත. මේ වන විට ජනාධිපති උපදේශක තනතුර දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීමට භාවිත කරන වෛශ්‍යයාවක් බව රට ම දන්නා රහසකි. පැරදී තනතුරු අහිමි වූ දේශපාලඥයින්ට, විවිධ අසාධාරණයන්ට ලක්වූ පාක්ෂිකයින්ට, තමන්ට උදව් කළ හිතවතුන්ට කෘතගුණ සලකන්නේ ජනාධිපති උපදේශක තනතුරක් ලබා දීමෙනි. ඒ තනතුර සමඟ නිවසක් ද වාහනයක් ද රු. 50 000ක පමණ දීමනාවක් ද ලැබෙන බව අසා ඇත්තෙමි. පිටකොටුවේ කීර තම්පලා විකුණන ආත්තම්මා දවල්ට කුස ගිනි නිවා ගන්නා පාන් කෑල්ලේ සිට ගසන බදු මුදලින් මෙලෙස පිරිසක් නඩත්තු කිරීම අලුත් දෙයක් නොවේ. එම පිරිසට අලුතින් එක් වන අයට ප්‍රබල විරෝධතාවක් මතු වූ අවස්ථාවක් ද අප දැක නැත.



එසේ නම් හිටපු මහ ඇමති ශිවනේෂතුරෛයි නැඟෙනහිර පළාත් සංවර්ධනය පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට පත් කළ අවස්ථාවේ එය අමුතු සරදමක් වූයේ කෙසේ ද? ඊට හේතු කිහිපයක් බලපා ඇති බව පෙනේ. ශිවනේෂතුරෛයි කොටි සංවිධානයට ළමා සොල්දාදුවෙකු ලෙස එක් වූ අයෙකි. එහි අරුත ඔහුට නිසි ලෙස සිය අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කළ නොහැකි වු බවය. එහෙයින් ඔහු නැඟෙනහිර හිටපු මහ ඇමති වුව ද නූගතෙකු බව බොහෝ පක්ෂ විපක්ෂ පිරිස්වල අදහසයි. ඉගනීම යනු පාසැල් ගොස් සාක්ෂරතාව ලැබීම, විවිධ සහතික ලැබීම සහ විශ්වවිද්‍යාලවලට පැමිණ උපාධි ලැබීම යැයි සිතන මේ දූපතේ මිනිසුන්ගෙන් ඉන් එහා යමක් බලාපොරොත්තු විය නොහැකිය. අනෙක් අතට විවිධ මාධ්‍ය ඔස්සේ සමාජ මත ගොඩ නඟන රාජ්‍ය විරෝධීන් ද ආණ්ඩු  වීරෝධීන් ද ඊට එරෙහි වන්නේ ශිවනේෂතුරෛයි ත්‍රස්තවාදය ප්‍රතික්‍ෂේප කරමින් රජයට සම්බන්ධ වූ පුද්ගලයෙකු වීම නිසාය. කොටි වෙනුවෙන් තවමත් කඳුළු සලන මොවුන් කරුණා අම්මාන් කෙරෙහි දක්වන්නේ ද මේ ප්‍රතිචාරයයි. බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින මොවුන් කරුණා, ශිවනේෂතුරෛයි දෙපළ දකින්නේ සටන පාව දුන් ද්‍රෝහීන් ලෙසය. අනෙක් අතට පක්ෂ විපක්ෂ බිම් මට්ටමේ සාමාජිකයෝ තමන් දෙමළ ජනතාවට වඩා ශ්‍රේෂ්ඨ යැයි විශ්වාස කරති. ඉතින් දෙමළෙකුට ජනාධිපති උපදේශකකමක් දීම ඔවුන්ට කරන ලද අවනම්බුවකි. අවශ්‍ය වෙලාවට ජාතිවාදය සිය බලය වෙනුවෙන් භාවිත කරන විවිධ පක්ෂවල එහෙයියන් බවට පත්ව ඇති නූගතුන්ගෙන් ද ඊට එහා යමක් බලාපොරොත්තු විය නොහැකිය.

මිනිසෙකු තමන් ලබා ඇති සහතික උපාධිවලින් උගතෙකු වන්නේ නැත. සාක්ෂරතාව ලබා පොතපත කියවා දැනුම ලැබීම යනු ඉගනීමට ඇති එකම ක්‍රමය නොව එක් ක්‍රමයක් පමණි. අපේ රටේ අධ්‍යාපනය ලබා දෙන්නේ විවිධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට ලිපිකරුවන් බෝ කිරීමටය. විවිධ විෂය මාලා කටපාඩම් කර ඒවා උත්තර පත්තරවල වැමෑරීම වෙනුවෙන් සහතික ලබා දී අගතුන් බව සහතික කළ උගතුන්ට වඩා මේ පරිසරයේ ජීවත්වීමෙන් විවිධ අත්දැකීම්වලට මුහුණ දෙමින් ඒ ඔස්සේ පන්නරය ලැබූ ජීවිත තක්සලාවෙන් උගත් මිනිසා පාසැල් නොගිය ද අර පෙර කී උගතාට වඩා උගතෙකියි මම සිතමි. ඔහු උගතෙක් වන අතර සිය දැනුම පිළිබඳ අවබෝධයෙන් සිටින හෙයින් ප්‍රාඥයෙක් ද වෙයි. එහෙත් පොතේ උගතා හැමදාම උගතෙක් පමණි. ඔහුට සිය විෂය පිළිබඳ දැනුම මිස ලෝකය පිළිබඳ අවබෝධයක් නැත. එහෙයින් සාක්ෂරතාව හෝ ලැබූ සහතික උගත්කම මැනීමෙහිලා ඉතා අසාර්ථක මිනුම් දඬු වේ. යමෙක් ජයග්‍රහණයේ දී නොව පරාජයේ හමුවේ හැසිරෙන ආකාරයෙන් ඔහුගේ උගත්කමත් බුද්ධිමත්කමත් මැනිය හැකි වෙතැයි මම සිතමි.

මේ දූපතේ මැතිවරණයකින් පැරදුනු කිසිදු දේශපාලන පක්ෂයක් සිය පරාජය පිළිගන්නේ නැත. ඡන්ද ප්‍රතිඵල පැමිණි විගස පවසන්නේ මේ මැතිවරණය අන්ත දූෂිත බවය. මැතිවරණ කොල්ලයක් බවය. කොම්පියුටර් ජිල්මාට් බවය. ජනතාව සමඟ පාරට බහින බවය. තම මනාප සොරා ගෙන ඇති හෙයින් නැවත ඒවා ගණන් කළ යුතු බවය. නැවත මැතිවරණය පැවැත්විය යුතු බවය. තමන්ට ජනතා මනාපය අඩු වුව ද මැරෙන තුරු තමන් මහ ඇමති විය යුතු බවය. වෙන මහ ඇමතියෙකු යටතේ තමන්ට එහි මන්ත්‍රීවරයෙකු ලෙස වාඩි විය නොහැකි බවය. ඒ අනුව ජයග්‍රහණය මෙන් ම තනතුරු ද මේ රටේ දේශපාලකයෝ සිය පරවේණියක් බව සිතති.

එහෙත් ශිවනේෂතුරෛයි සන්ධාන මනාප ලැයිස්තුවේ ප්‍රථමයා මෙන් ම බොහෝ දෙනා විශ්වාස කළ පරිදි ඔහු ඊළඟ මහ ඇමති අපේක්ෂකයා ද වුව ද මහ ඇමති තනතුර ඉල්ලුවේ නැත. ඇමති තනතුරු ද ප්‍රතික්ෂේප කළේ ය. තමන් පාලක පක්ෂයට සහාය දෙන බව ද පසුපසින් සිට නැඟෙනහිර සංවර්ධනය වෙනුවෙන් සිය යුතුකම ඉටු කරන බව ද කීවේය. තමන් ජනාධිපති උපදෙශක තනතුරට පෞද්ගලිකව කැමති නැති බව ද ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න නිසා එය බාර ගත් බව ද කීවේය. සිය මහ ඇමති ධූරය අහිමි වීම පිළිබඳ දුක නැද්දැයි විමසූ විට ඔහු කීවේ තමන් මහජන මතයට ගරු කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදය එය බවත්ය. මැතිවරණයේ සිය ප්‍රතිවාදීන් වූ මුස්ලිම් කොංග්‍රසය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව කීවේය. එසේ බලන කල ලංකාවේ සිටින බොහෝ උගත් යැයි තමන් සිතා සිටින දේශපාලකයින් සේ ම විවිධ පක්ෂවල අනුගාමිකයින් ද ශිවනේෂතුරෛයි චන්ද්‍රකාන්තන්ගෙන් ටියුෂන් ගතයුතුය.

TNA සංවිධානය දෙමළ ජනතාවගේ හදවත්වල නැවත ජාතිවාදය අවුලමින් ඊළම සඳහා යාමේ අවසාන අවස්ථාව මෙය බව පවසමින් නැඟෙනහිර ජනතාව මධ්‍යම ආණ්ඩුවේ බලය ප්‍රතික්ෂේප කරන බව ද ස්වයං නිර්ණය අයිතිය සඳහා සටන් කරන බව ද සිය ඡන්දවලින් ලෝකයට පෙන්වන්න යැයි කියා සිටියේය. TNA සංවිධානය නැඟෙනහිර දෙමළ ජාතිවාදය වපුරමින් ගෙන ගිය මැතිවරණ ව්‍යාපාරය ද ඔහුගේ විවේචනයට ලක් විය. ප්‍රජාතන්ත්‍රවාදයට පිවිස වසර කිහිපයක් තුළ මෙවන් පරිණත හැසිරීමක් ප්‍රකට කළ ශිවනේෂතුරෛයි ජනාධිපති උපදේශක වැනි විකට තනතුරකට නොව රටේ වගකිව යුතු ඇමති තනතුරකට පත් කළ යුතු බව මගේ අදහසයි. ඒ ඔස්සේ අපේ සහෝදර දෙමළ ජනතාවට සහ ලෝකයට ප්‍රබල පණිවිඩයක් ලබා දිය හැකිය.    

Monday, September 24, 2012

වඳින්නම් සර් කනක් ඇහිලා යන්න දෙන්න . . .

අපේ රටේ බහුතරයක් ජනතාව පෞද්ගලික වාහනයක් භාවිත කිරීමට තරම් ආර්ථික මට්ටමකට නොමැත. ඇතැමුන්ට වාහන ගතහැකි වුව ද ඉන්ධන වියදම දරාගත නොහැකිය. එහෙයින් බොහෝ දෙනා පොදු ප්‍රවාහන සේවා එනම් බස් දුම්රිය භාවිත කරති. මේ සේවා භාවිත කරන අයට මුහුණ පෑමට සිදුවන අප්‍රසන්න අත්දැකීම් බොහෝය. ඒ අතරින් එකක් නම් නිදහසේ කන්දොස්කිරියාවක් නොමැතිව ගමනාන්තයට යාමට ඇති නොහැකියාවයි. ඒ ලංකාවේ සියලු ම පෞද්ගලික බස්වල අති දැවැන්ත ස්පීකර් පද්ධති නිසාය. බස්වලට බෆල් නොව බෆල්වලට බස් සවි කර ඇතැයි කිව යුතු තරම් දැවැන්ත ශබ්ද විකාශන යන්ත්‍ර ඒවාට සවි කර තිබේ.

මේ දූපතේ සංගීතය යනු ගීතයයි. ඉන් එහා සංගීතයක් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු වුව දන්නේ නැත. ගුත්තිලය සැළලිහිණිය ලියූ පරපුරෙන් පැවත එන මහ සඟරුවන ද දන්නා සංගීතය ගීතයයි. ඉතින් අවම අධ්‍යාපන මට්ටමක් සහිත බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ රසඥතාව පිළිබඳ කවර කතා ද? ඔවුහු සිය රස වින්දනයට ගැලපෙන ගීත මේ ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්සේ විකාසනය කරන්නේ බස් රියේ සිටින අයට පමණක් නොව පාරේ ගමන් කරන අයට ද මඟ දෙපස ගම්වල සිටින අයට ද ඇසෙන පරිදිය. බස්වල යන බොහෝ මගීන් මුහුණ දෙන අතිශය අප්‍රසන්න අත්දැකීමකි මෙය.

මේ රටේ සිටින බස් රථ සේවකයින් ප්‍රබුද්ධ රසිකයින් කිරීමට යාමට අපට අවශ්‍ය නැත. ඔවුන්ට වඩා හොඳ නිර්මාණ අසන්නැයි කීමට ද අපට අවශ්‍ය නැත. එසේ කිවහොත් එය ඔවුන්ගේ අයිතීන් උල්ලංඝණය කිරීම කැයි මේ සුජාත ප්‍රජාතන්ත්‍රවාදී රටේ කිසිවෙකු කීමට ද ඉඩ තිබේ. එය ඔවුන්ගේ පෞද්ගලික අයිතිය කැයි පිළිගැනීමට අප සුදානම්ය. ඔවුන්ගේ නිදහසට බාධා කිරීමට ද අපට අවශ්‍ය නැත. එහෙත් ඔවුන්ගේ නිදහස අනෙකාගේ නිදහසට බාධා කිරීමට තරම් අසීමාන්තික එකක් විය යුතු නැත. එය වරක් එක්තරා දේශපාලන චින්තකයෙකු කී පරිදි ඔබේ කුඩ කරකැවීමේ අයිතිය අනෙකාගේ නාසය ළඟින් කෙළවර වේ.

එහෙයින් අප ඉල්ලා සිටන්නේ වහාම සියලු ම පොදු ප්‍රවාහන සේවාවල සීඩී, කැසට් වාදන යන්ත්‍ර භාවිතය තහනම් කළ යුතු බවය. මගීන් වන අපට හිරිහැරයක් හෙයින් එය තමනම් කරන්නැයි ඉල්ලා සිටීමට අපට අයිතියක් තිබේ. අද බස් මගීන් සියලු දෙනා සතුව ජංගම දුරකතන තිබේ. ඒවායේ අවශ්‍ය නම් ගීත ඇසීමේ පහසුකම් තිබේ. එහෙයින් ගීත ඇසීමට කැමති අයට ඒවා භාවිත කිරීමේ හැකියාව තිබේ. රියදුරු මහතාට කොන්දොස්තර මහතාට ද අවශ්‍ය නම් එම ක්‍රමය භාවිත කළ හැකිය. එසේ කිරීම තුළින් සියලු දෙනාට ලැබෙන්නේ සහනයකි. එහෙයින් සියලු පොදු ප්‍රවාහන සේවාවලින් මේ ශබ්ද විකාශන යන්ත්‍ර ඉවත් කිරීම අතවශ්‍ය වෙයි. නියමිත ගාස්තුව ගෙවා ඉතා ම අප්‍රසන්න අත්දැකීම් විඳිමින් යනෙන මගීන්ට දෙතිස් වධ දිය යුතු නොවේ. එහෙයින් මේ පිළිබඳ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ බලධාරීන්ගේ ද එම බස් රථ සංගමයේ සභාපතිතුමා වන ගැමුණු විජේරත්න මහතාගේ ද අවධානය වහා යොමු වේවායි පතමු.
 
සිය රට දේ සිරි සැප දේ !