Sunday, November 21, 2010

අයවැයට පෙර වදනක්

අද හවස අයවැය සභාගත වනු ඇත. රටට ආදරය කරන සමස්ත රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ සංවර්ධනාත්මක අයවැයකි. ඔවුන් තම කුස දෙස නො ව අනාගත ලංකාවේ සංවර්ධනය දෙස බලා සිටිති. තම කුසගින්න ගැන නොසිතා රටේ සංවර්ධන අභියෝග ජය ගැනීමට අවශ්‍ය ක්‍රියා මාර්ග මෙවර අයවැයෙන් ඔවුහු බලාපොරොත්තු වෙති. රටක් සංවර්ධනය කිරීමට නම් රටේ පරම්පරාවක් දුක්විඳිය යුතු බව කිසියම් කැප කිරීමක් කළ යුතු බව ඔවුහු දනිති. අද අප විඳින දුක හෙට අපේ දුවා දරුවන්ගේ සතුට උදෙසා බව ඔවුන්ට සිහිපත් කළ යුතු නැත.

එහෙත් තව පිරිසක් ආණ්ඩුවෙන් නිකන් කා බඩ පුරවා ගන්නට බලා සිටිති. ඔවුන්ට රටෙන් හෝ රටේ සංවර්ධනයෙන් වැඩක් නැත. අනාගත පරපුරට හෙන ගැහුවත් එයාලාට කම් නැත. අපට ඕන කන්න ය. කෑවා ම හොඳට ම ඇති ය. එසේ කන්න ඕනෑ අතපය නො සොල්ලා ය. කන්න දෙනවා නම් අපට බොන්න දෙනවා නම් වෙන මොන කෙන්ගෙඩියක්වත් අපට ඕනෑ නැත. ඒ නිසා පඩි වැඩි කළ යුතු ය. සහනාධාර වැඩි කළ යුතු ය. බදු අඩු කළ යුතු යුතු ය. බඩු මිල අඩු කළ යුතු ය.

මේ බඩගෝස්තරවාදීන්ට උල්පන්දම් දෙන්නේ එජාප සහ ජවිපෙ බලලෝභි දේශපාලන මුස්පේත්තුවෝ ය. එයාලාට අනුව රටේ කිසිම සංවර්ධයක් සිදු වී නැත. සිදු වී ඇත්තේ රට පස්සට යාම පමණි. සැබවින් ම සිදු වී ඇත්තේ රටේ සංවර්ධනය නිසා මේ අමන දේශපාලන රැළ ආපස්සට යාම ය. වේගයෙන් දුවන රියක සිටින විට මහපොළව ආපස්සට දුවන්නා සේ පෙනෙන ලෙස ම දේශපාලන කනත්තට දුනව මේ අයට රට පස්සට යනවා සේ පෙනේ. ඒ ගැන අප කලබල විය යුතු නැත.

රටට අවශ්‍ය සහනාධාර පොදි පිනට බෙදන පිංගුත්තරයින් බිහි කරන අයවැයක් නොවේ. අනාගත සංවර්ධන ඉලක්ක ජයගත හැකි අයවැයකි. 2009 '10 000 එපා අපට 2500ක් ඇති' යයි ජනතාව කීවේ එහෙයිනි. මේ ආණ්ඩුව පිහිට වූයෙත් සතරවරම් දෙවියන් සේ මේ ආණ්ඩුව රකින්නේත් අප මුලින් සඳහන් කළ බහුතර ජනතාව මිස අගුපිල්වල ලගින පාන් බකුස්සන් හෝ පිදේනි යදින්නන් නොවෙති.

Wednesday, November 17, 2010

හඳුන්නෙත්තිගේ වාසනාව!

සුනිල් හඳුන්නෙත්ති මහතා යාපනේ යාමට පෙර කළ කතාවක් රූපවාහිනිය ඔස්සේ දුටිමි. එහි දී ඔහු කීවේ සමාජවාදය යනු පෞද්ගලික දේපල රජයට ගැනීම නොවන බව ය. ඉන් ඔහු විවේචනය කිරීමට උත්සාහ ගත්තේ රජය සෙල් ගෑස් සමාගම නැවත රජයට පවරා ගැනීම ය.

පහුගිය කාලයේ පැවති රජයන් රටේ දේපල කුණු කොල්ලයට විකුණන විට ඊට විරුද්ධව රට අවදි කළේ ජවිපෙ යැයි කීමට අපි මැලි නොවෙමු. ඒ ගෞරවය ඔවුන්ට පුදන අතර ම අද එම පක්ෂය පත්ව ඇති බංකොලොත් භාවය ද හෙළි කිරීම නොකළ යුත්තක් නොවේ යැයි අපි විශ්වාස කරමු.

සමාජවාදය යනු රටේ පෞද්ගලික දේපළ රජයට ගැනීම යැයි කිසිවෙකු කියා නැත. එහෙත් විවිධ බහුජාතික සමාගම්වලට කුණු කොල්ලයට විකුණා දැමූ රටේ සම්පත් නැවත වරක් රට අත්පත් කර ගැනීම පිළිබඳ වඩාත් සතුටු විය යුතුව තිබුණේ ජවිපෙ ය. මෙරට ජනතාව සතුව තිබූ සම්පත් එසේ නැවත අත්කර ගැනීම රටට හැම අතින් ම වාසිදායක ය. එම සමාගම් ලාභ ලෙස මෙරටින් පිටට පොම්ප කළ ‍ඩොලර් මිලියන ගණනක මුදල් මේ නිසා යළි රටට ඉතිරි වෙයි.

එහෙත් සිය ප්‍රතිපත්ති පාව දී කුහක දේශපාලනයක යෙදෙමින් මහත් වැර වෑයමෙන් පිරිහෙන ජවිපෙට එය නොපෙනේ. ආණ්ඩුව වැරදි ය. රටේ සම්පත් විකුණුවත් වැරදි ය. විකුණු දෑ යළි ගත්තත් වැරදි ය. හරි ජවිපෙ පමණි. මේවා අසන ජනතාව හඳුන්නෙත්තිලාට ඔලු නැතැයි සිතන්නට වූහ. එහෙත් ඔහු යාපනේට යාම නිසා හඳුන්නෙත්තිට ඔලුවක් ඇතැයි ජනතාව දැන ගත්තේ ය. එය ඔහුගේ වාසනාව ය.

Thursday, October 14, 2010

රාජපක්ෂලා හිනි මගට පයින් ගසති!

නොබෝදා බැසිල් රාජපක්ෂ පහුගිය මැතිවරණවලදී ආණ්ඩුවට සහාය වූ ගම්පහ නීතිඥ පිරිස් හමු වී තිබේ. එහි දී නීතිඥවරුන්ට භෝජන සංග්‍රහයක් පවත්වා ඇති අතර නීතිඥවරු සිය ඉල්ලීම් ලෙස ඉදිරිපත් කර ඇති කරුණු කිහිපයකි.

* සිය දරුවන් පාසැල්වලට ඇතුල් කර ගැනීමට සහාය වීම (පිළිගත් ක්‍රමවේදයට පිටින් දේශපාලන බලය යොදා ඔවුන්ගේ දරුවන් පාසැල්වලට ඇතුල් කිරීම)

* නීතිඥවරුන්ට ආණ්ඩුවේ තනතුරු, අඩු තරමේ රාජ්‍ය සංස්ථාවක අධ්‍යක්ෂ මණ්ඩලයටවත් පත් කිරීම (එනම් රජයේ ආයතනවල ආණ්ඩුවට පක්ෂපාති වූ නිසා ම පත් කිරීම)

* ඇමතිතුමා පෞද්ගලිකව හමුවීමට අවස්ථාව දීම (එනම් මහජන දිනයේ නොව වෙන දිනවල සිය පෞද්ගලික කටයුතුවලට)

මේ සියල්ල අසා සිටි බැසිල් රාජපක්ෂ පවසා ඇත්තේ තමන්ට දරුවන් පාසැල්වලට දැමීමට බලපෑම් කළ නොහැකි බවත් එවන් ඉල්ලීම් නොකරන ලෙසත් ය. එමෙන් ම මහජන දිනයේ තමා හමුවන ලෙසත් පොදු ඉල්ලීම් මිස කිසිදු පෞද්ගලික ඉල්ලීමක් තමන්ගෙන් නො ඉල්ලන ලෙසත් ය.

මේ පුවත වාර්තා කළේ රජයේ මාධ්‍යයක් හෝ රජයට හෝ රටට හෝ හිතවත් මාධ්‍යයක් වූවා නම් මෙය තවත් දේශපාලන නාටකයක් යැයි අපට සැක කළ හැතිව තිබිණි. එහෙත් මෙය වාර්තා කර ඇත්තේ ලංකා ඊ නිව්ස් නම් වෙබ් අඩවියයි. මේ බැසිල්ගේ ප්‍රකාශයෙන් සාමාන්‍ය රට වැසියන් ලෙස අප සතුටු විය යුතු වුවත් සිය පාක්ෂිකයින්ට විශේෂ කොට සැලකීමේ ජරා දේශපාලනයෙන් මිදීමට ගත් වෑයමක් ලෙස ප්‍රශංසා කල යුතු වුවත් ලංකා ඊ නිව්ස් පවසන පරිදි මේ මහා අපරාධයකි. හිණි මගට පයින් ගැසීමකි.

එසේ නම් ඔවුන්ට බැසිල් කළ යුත්තේ සිය හෙංචයියලාගේ දරුවන් හොඳ පාසැල්වලට දමා ඒ හෙංචයියලාට සංස්ථා මණ්ඩල භාර දී ඔවුන්ගේ පෞද්ගලික ඕනෑ එපා කම් ඉටු කිරීම ය. එහෙත් අපට හිතෙන්නේ ඡන්දය අවසන් වූ පසු පක්ෂ විපක්ෂ සියලු දෙනා එක ලෙස සැලකීම යහපත් බව ය. එය ලංකා ඊ නිව්ස් අනුව නම් මහා පාපයකි. මුල අමතක කිරීමකි. මා නම් හිතන්නේ මෙය හිනි මගට පයින් ගැසීමක් නම් එසේ පයින් ගැසීම ශ්‍රේෂ්ටතම ක්‍රියාවක් බව ය.

ඒ ගැන ඔබට කීමට ඇත්තේ කුමක් ද?

 
සිය රට දේ සිරි සැප දේ !