Tuesday, September 28, 2010

ජෙනරාල්ට වෙච්චි දේ

හිටපු ජෙනරාල් ඉස්සර අපට වීරයෙකි. ඔහු වෙනුවෙන් අපි ලීවෙමු. පෙනී සිටියෙමු. එහෙත් අවසන ජෙනරාල්ට ජනපති වීමට උවමනා විය. ඒ ගමන ආරම්භයේ ම සුදු කොඩි ඔස්සේ වීරයා මරාගෙන ද්‍රෝහියෙක් උපන්නේ ය. වීරයා මැරුවේ ජවිපෙය. වීරයාට පිහියෙන් ඇන්නේ ජවිපෙය. ද්‍රෝහියාගේ පියා ජවිපෙ ය. මව එජාපයයි.

එදා මාණ්ඩලික ප්‍රධානි ලෙස ඇමරිකාවට ගිය හිටපු ජෙනරාල් තමන්ගෙන් උපදෙස් ගත්තේ යැයි උජාරුවෙන් කී ටින් ටින් සිල්වා මේ ඉරිදා දිවයිනට කීවේ එය අසත්‍යයක් බව ය. එදා කතා කළේ සිල්වා ය. මෙදා කතා කරන්නේ ද සිල්වාම ය. ඔහුට එදා කී දේ අමතක වුව ද අපට අමතක නැත. ඔහු කියන සියල්ල ඇතැමුන්ට ඇත්ත වුව ද අපට නම් එසේ නැත.

අද The Island පත්තරේ එන මේ කාටුනය ජෙනරාල්ට වෙච්චි දේ අපට මැනවින් සිහිපත් කරදෙයි. යන එන මං නැතිව දේශපාලන කනත්ත බලා යමින් සිටින මළ පෙරහැරක මහ බඹා චරිතයට පණ දෙන්නට ජෙනරාල් වීරයා දිවි දුන්නේ ය. දුෂ්ටයා උපන්නේ ය. දැන් ඒ අගාධය වටේ සිට ජවිපෙ ජෙනරාල් විකුණති. ජෙනරාල් කෙසේ හෝ සිරගෙට යවා තම පක්ෂ දේශලාන මතවාදය ක්‍රියාවට නැගීමට ඇති එකම බාධකයෙන් නිදහස් වීම දැන් ජවිපෙ පැතුමයි. මේ උර චක්කර මාලයෙන් නිදහස් වී දඹුලු ගොහින් තලගොයි මරාගෙන එන්නට ජවිපෙ බලා සිටියි. තම මතවාදය වෙනුවෙන් රටේ සිය දහස් ගණනක් මරා දැමූ ජවිපෙට අවසානයේ ජෙනරාල් ද හපා විසි කරන උක් හපයක් පමණි.

Friday, September 24, 2010

දිවි හිමියෙන් රනිල් සුරකිමු

එජාප ප්‍රතිසංවිධාන යෝජනාවලියට බාලගිරි දෝෂය වැළඳීම පිළිබඳ සමාව අයැදිය යුතු රනිල් වික්‍රමසිංහ මහතා නොබෝදා එජාප මන්ත්‍රීවරු පිරිසක් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ විම පිළිබඳ සමාව අයැදි සිටියේ ය.

18ට පක්ෂ වූ මන්ත්‍රීවරු මුදල්, වරප්‍රසාද සහ අනේක වරදාන පිණිස සිය ආත්මය පාවා දුන් බව පැවසු දයාසිරි ජයසේකර ඉන් පසු කීවේ පක්ෂ ප්‍රතිසංවිධාන යෝජනා තවත් පමා වේ නම් තමන් ඇතුලු පිරිසක් ස්වාධීන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා බව කීවේ ය.

මේ වන විට දෛවයේ සරදමකට ලක්ව සිටින්නේ දයාසිරි ය. ඔහු 'ගෙදර ගියොත් අඹු නසී මග මිටියොත් තෝ නසී' තත්වයට පත්ව සිටියි. රනිල් කියන්නේ ස්වාධීනව සිටින්නට අදහස් කරන අය පක්ෂයෙන් ඉවත් විය යුතු බව ය. එක අතකින් මෙය ද ප්‍රතිසංවිධානයකි. පක්ෂයේ බුද්ධිමත් තරුණ ආකර්ශනීය නායකයින් පක්ෂය ගැන කලකිරී එය අතැර යයි.

මෙසේ ප්‍රතිසංවිධාන ඉල්ලු සියල්ලන් පක්ෂයෙන් විසිවී යන විට තමන් මත ද හෙට දවසේ වැදිය හැකි මුදල්, වරප්‍රසාද සහ අනේක වරදාන හංවඩුව, එහි ඉතිරි සිටින එකෙකුට, ගිය එකාගේ පිටේ ගැසිය හැකි ය. දැනට පක්ෂය වෙනුවෙන් මේ හංවඩුව ගැසීමට පැවරී ඇති ගයන්ත, තිස්ස වැන්නන්ට ද මේ හංවඩුව හෙට දවසේ වැදිය හැකි ය. මෙසේ යන කල අවසන ඉතිරි වන්නේ රනිල්, රවි, මංගල, අකිල වැනි පිරිසකි.

මෙය භයානක තත්වයකි. එජාපය තුළ ම ඇති එය විනාශවීමේ හේතු නිවැරදි නොකර ආණ්ඩුවට බැන පලක් නැත. විපක්ෂය දුර්වල වන තරමට ආණ්ඩුව කැමති ය. එහෙයින් රනිල් එජාප නායකයා ලෙස හැමදාම සිටී නම් ආණ්ඩුව හරි කැමති ය. රාමචන්ද්‍රලා ද රනිල්ට හරි කැමති ය. එසේ බලන කල මේ ආණ්ඩුව උන්දැලාට උදේ හවා පිං දිය යුතු ය.

Wednesday, September 15, 2010

එකා අධිපති කවුද?


රටක ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිතවීමට ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතුය. එහෙත් අපේ රටේ එවැන්නක් නොමැත. 18ට විරුද්ධව කෑ මොර දුන් උඩුබිරූ අය ඒ ගැන කිසිවක් නොකියති. රටේ විපක්ෂය විනාශවීමට මූලික හේතුව රනිල් වික්‍රමසිංහගේ ආඥාදායකත්වයයි. ඔහු විපක්ෂ නායක වූ දා සිට ඔහු හා උරණ වී ආණ්ඩුවට ගිය පිරිස දැන් 60ද පැන තිබේ. හැමදාම නායකත්වය වෙනස් කරනට පෙරමුණ ගත් පිරිස නතර වූයේ ආණ්ඩුවේ ය. මුළු එජාපය ම එකත් පසකට වුව ද රනිල් එළවිය නොහැකි බව දැන් පැහැදිළි ය. ඒ පක්ෂ ව්‍යවස්ථාව එහි ඒකා අධිපති නායකත්වයක් තනා ඇති බැවිනි.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරනට දැන් කළ යුත්තේ රටේ ව්‍යවස්ථාව නොව එජාප ව්‍යවස්ථාව වෙනස් කිරීමය. එහි නායකත්වය පත් කර ගැනීමට වඩා හොඳ ක්‍රමයක් නිර්මාණය කර ගැනීමය. ආණ්ඩු විරෝධීන් ද එජාප බැතිමතුන් ද දැන් කළ යුත්තේ එයයි. එවිට දැනට එජාප අභ්‍යන්තරයේ ඔඩුදුවා ඇති අර්බූධය කෙළවර වනු ඇත. එසේ නොකර තම ඇසේ පොල් පරාල සඟවා අන් ඇසක කෙහෙ ගසක් සොයන ක්‍රමය ඉදිරියට ගෙන යන්නේ කරන්නේ, ආණ්ඩුව ශක්තිමත් කිරීම පමණි.

රනිල් රටට නොගැලපෙන නායකයෙකු වන්නේ ඔහුගේ පුද්ගලික දුර්වලතා නිසා නොව ඔහු නියෝජනය කරන මතවාදය නිසා ය. මෙය රනිල්ගේ වරදක් නොව එකී බටහිර ගැති මතවාදයේ අර්බූධයකි. ඒ නිසා රනිල් එළවා රවි නායකයා කිරීම අතීසාරයට අමුඩෙ ගැසීමකි. ඔවුන් දෙදෙනා ම එක වල්ලේ පොල් ය. ජාතික ඇඳුමට රිගා ගත් පමණින් රවීට සිය බටහිර ගැතකම එහි සැඟවිය නොහැකි ය. එජාපයට නායකත්වය දීමට දැන් එහි සිටින නියම සුදුස්සා සජිත් ය. සජිත් තවම ළබාල යැයි රනිල් නිසා පක්ෂ නායකත්වයට කිට්ටු කළ නොහැකිව අකාලයේ වයසට ගිය අය පවසන කුහක කතා ජනතාව අනුකම්පාවෙන් බැහැර කරනු ඇත. විපක්ෂයට නිවැරදි නායකත්වයක් ලබා දීම මේ අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කළ හැකි වැදගත් ම කාර්යයි.
 
සිය රට දේ සිරි සැප දේ !