Thursday, July 29, 2010

කකුළු පැටවුනි, කෙලින් පලයව්!

විමල් වීරවංශගේ පාක්ෂිකයින්ට පහර දුන් පොලිසියට ගුටි කෑවුන් විසින් පෙරලා පහරදීම ගැන මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ජවිපෙ පොලිසියේ රාජකාරියට බාධා කළවුන් වහා ම අත් අඩංගුවට ගත යුතු යැයි කීවේ ය. එදා පොලිසිය කිසිදු වග විභාගයකින් තොරව පහර දුන්නේ තමන්ට නොවන නිසාත් තමාගේ අංක එකේ හතුරා ලෙස සලකන්නාට නිසාත් ජවිපෙ වහා ම පොලිසිය වෙනුවෙන් පෙනී සිටියේ ය.

ඉතිහා‍සයේ හැමදාම ආණ්ඩුවේ මුර බල්ලන් යැයි පොලිසියට බැණ වැදුණු ජවිපෙට කන්න හිතුණා ම කබර ගොයා තළගොයා කර ගත්තේ එසේ ය. මේ රටේ හතුරන් වෙනුවෙන් ලියන බ්ලොග්කරුවෝ ද එදා පොලිසිය රැක්කේ මුර බල්ලන් ලෙස ය. ඔවුන් මේ කිඹුල් කඳුලු හෙළන්නේ සිය සතුරාට රිදවීම නිසා මිස පොලිසිය කෙරෙහි ඇති කැමැත්තකට නොවන බව අපි එදා කීවෙමු.

ඔවුන් අපි එදා පොලිසියේ පහර දීම පමණක් නො ව පෙරලා පොලිසියට පහර දීම ද හෙළා දුටුවෙමු. එවිට ඔවුන් කීවේ නීතිය සාමය සුරැකීමට පොලිසියට බාධා නොකළ යුතු බවය. පොලිසිය නීතිය සාමය සුරකින විට මිනිසුන් මළ කඳන් වීමත් සමහරුන්ට දින ගණන් රෝහල්වල ප්‍රතිකාර ගන්න සිදුවීමත් අපට ගැටලුවක් වුව ද ඔවුන් එය ගැටලුවක් වූයේ නැත. එහෙත් අනුර කුමාර අද කියන්නේ පොලිස්පති ඉල්ලා අස්විය යුතු බවකි. ඒ රුහුණු සරසවි සිසුවාගේ මරණය ගැන මුලින් මරණ පරීක්ෂණ වාර්තාවේ හේතුව කියවීම සහ පසුව එය මිනී මැරුමක් විය හැකැයි කීම නිසා ය.

එදා තම සතුරාට පහර දුන් විට සිය ඉෂ්ට දේවතාව වූ පොලිසිය අද ජවිපෙ හතුරා වී තිබේ. පොලිසිය එරෙහිව සටන් පාඨ කියමින් පෙළපාලි යන අන්තරේ වස්සන් ටික මහ පාරේ ය. කෙසේ හෝ පොලිසිය සමග ගැටුමක් ඇති කර මේ එක නාම්බෙක් එළා ගත්තොත් ජවිපෙට තව මාස ගාණක් ඒ මළ කුණ විකිණිය හැකි ය. '---සහෝදරයාට අපේ විප්ලවීය ආචාරය' යැයි පෝස්ටර් ගැසිය හැකි ය. මිනී පුළුටු සුවඳ නැති වීට හුස්ම ගත නොහැකි පිශාචයින් පිරිසක් අද ජවිපෙ මුල් පුටු අරක් ගෙන සිටිති. මොවුන් පසුපස යන වඳුරු පෝතකයින් එය අවබෝධ කරගත යුතු ය.

ලැබී ඇති සාධක අනුව මේ සිසුවාගේ මරණයට අන්තරේ බස්සා මෙන් ම පොලිසියේ අළුගෝසුවන් ද වගකිව යුතු ය. මේ දෙපිරිසට ම අනෙකාට වගකීම පවරා මාරුවීමට ඉඩ දිය යුතු නැත. ප්‍රභාකරන්ට පසු ලංකාවේ ප්‍රසිද්ධ ඝාතන, මැර ක්‍රියා බොහෝ ගණනක් කර ඇත්තේ පොලිසියයි. මේ වන විට මහජන මුදලින් නඩත්තු වන ජඩම ආයතනට බවට පොලිසිය පත්ව තිබේ. (පොලිසියේ යහපත් මහත්වරු ඇත්නම් කමත්වා!)

තම සහෝදර සිසුවෙකුගේ හිස පරිගණකයකින් ගසා දෙපලු කළ හැකි අළුගෝසුවන්ය අද අන්තරේ ඇත්තේ. මේ නිල නොලත් මැර රංචු දෙක මර්දනය කිරීමට හමුදාව යෙදවීමට සිදුවන තත්ත්වයකි දැන් උදා වී ඇත්තේ. ජනතාව මෙන් ම නීති ක්‍රියාත්මක කරන වුන් ද නීති ආරක්ෂා කළ යුතු ය. එසේ නොකර කකුළු පැටවුන්ට කෙළින් පලයන් යැයි කීමෙන් පලක් වෙද?

Thursday, July 15, 2010

මෙදා කැබිනට්ටුව මැදවච්චියේ රැස්වෙයි

තිස් වසරක් කොටි ග්‍රහණයේ පැවති උතුරු නැගෙනහිර ඊනියා දෙමළ රාජ්‍යයේ අගනුවර ලෙස හැඳින්වූයේ කිලිනොච්චියයි. කොටි වනසා වසරක් ගෙවුණු තැන, කිලිනොච්චිය හෙවත් ඊනියා කොටි අගනුවර ජනපතිගේ ප්‍රධානත්වයෙන් ලංකා රජයේ කැබිනට් මණ්ඩලය රැස්වීම අතිශය වැදගත් පණිවිඩ ගණනාවක් ලොවට ලබාදෙයි.

එකක් මේ රටින් සහමුලින් ම ත්‍රස්තවාදය අතුගා දමා අවසන් බව එනම් මේ වන විට සමස්ත රටේ ම ආරක්ෂාව තහවුරු කර ඇති බව පළමුවැන්න ය. මේ නිසා සංචාරකයින්ට, ආයෝජකයින්ට කිසිදු චකිතයකින් තොරව රටට පැමිණිය හැකි වාතාවරණයක් රට තුළ නිර්මාණය වී ඇත යන පුවත ලෝකයට යයි.

රටින් පිට සිට තවත් කොටි කල්ලි කිහිපයක් කටින් බතල කොල හිටෙව්ව ද උන්ට කළ හැකි ඉටි ගෙඩියක් නැත යන පණිවිඩය අනෙක ය. තම මුදලට කිසිදා වෙන ම රාජ්‍යයක් හිමි නොවන බවේ කටුක යථාර්ථයට ‍ඊළාම්වාදීන්ට කෙමෙන් අත්විඳින්නට සිදු වන ඇත. එහෙයින් තව දුරටත් ඊළාම් රාජ්‍ය විකුණමින් දෙමළ ජනතාවගෙන් මුදල් ගැරීම අපහසු වනු ඇත. සියලු ජනතාව සමග සාමුහිකව ජීවත්වීමේ විකල්පය වෙත යාමට ඊළාම්වාදීන්ට සිදුවනු ඇත. බටහිර රටවල ඇතැම් දේශපාලකයින්ට ඊළමේ පිහිටින් පාර්ලිමේන්තු යාම ද තවදුරටත් පහසු නොවනු ඇත.

මේ ආකාරයට ලංකාවේ හැම අස්සක් මුල්ලක් නෑර ම මධ්‍යම ආණ්ඩුවේ බලය පැතිර ඇති බව සංකේතාත්මකව ප්‍රදර්ශනය කිරීම ඔස්සේ වසර තිහක් තිස්සේ ඊළම සිහිනවලින් මොළ සේදීමට ලක් කළ පිරිසට ද ක්‍රමයෙන් පියවී ලෝකය වෙත පිය නගන්නට අවස්ථාව උදාවනු ඇත. එහෙත් මේ යථාර්ථය පිළිනොගෙන ඊට එරෙහිව ක්‍රියාකිරීමට ද පිරිසක් සිටිනු ඇත. ඒ අය නම් ඊළම වෙනුවෙන් පෙනී සිටි මෙරට සහ පිටරට ඇතැම් කොටස් ය. යුද්ධයට අකුල් හෙළමින් කොටි රැක ගන්නට වළි කෑ පිරිස ය. ඔවුන් මේ අවස්ථාවේ කිලිනොච්චියේ කැබිනට් රැස්වීම පැවැත්වීම හෑල්ලුවට ලක් කිරීම අනීවාර්ය වෙයි.

අද වික්‍රමබාහු කරුණාරත්නගේ දේශපාලන මාවතේ පාද තබන, කුප්‍රකට NGOකාරයෙක් වන ජේ.සී. වැලිඅමුණගෙන් බණ අහන ජවිපෙ අනුර කුමාර පැවසුයේ, 'අපට වැදගත් කැබිනට් මණ්ඩලය රැස්වන තැන නොව ගන්නා තීරණ' බව ය. එය ඇත්ත ය. එහෙත් එය එසේ වූ පමණින් කිලිනොච්චියේ කැබිනට් මණ්ඩලය රැස්වීමෙන් ලෝකයට ලබා දෙන පණිවිඩය නොතකා හළ හැකි ද? ගන්නා තීරණ මිස තීරණ ගන්නා තැන වැදගත් නොවේ නම් 'මහ ගෙදර' නමින් සුවිසල් පක්ෂ මුලස්ථානයක් සිය පක්ෂය තනන්නේ කුමටදැයි අනුර කුමාර කීවේ නැත. මහා පක්ෂයක් බවට අතු ඉති ලා වැඩෙමින් පැවති ජවිපෙ වඳ ‍කොට, විනාශ කළ රොත්ත අද ගන්නා තීන්දු උන්ගේ වළ උන් ම හාරා ගැනීමකට එහා නොගිය ඒවා බව අමුතුවෙන් කිව යුතු නැත. එවන් තීරණ ගැනීමට දැවැන්ත මන්දිරයක් උවමනා ද? උක්ත ප්‍රකාශය ද ජවිපෙ දේශපාලන බංකොලොත්භාවය ප්‍රකාශ කරන කුහක දෙඩවිල්ලක් ම පමණි.

තවත් ඊළාම් වෙබ් අඩවියක් වන ලංකා ඉනිව්ස් පැවසුවේ මෙදා කැබිනට් මණ්ඩලය කිලිකොච්චි කොටි සාම මහ ලේකම් කාර්යාලයේ පැවැත් වූ බවයි. එම ගොඩනැගිලි සංකීර්ණය අද නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය වන අතර එදා වාර්මාර්ග දෙපාර්තමේන්තුවට අයත් විය. එහෙත් කොටි ග්‍රහණයේ පැවති සමයේ එය උන්ගේ මළ ඉලව් කාර්යාලයක් ලෙස භාවිත කෙරිණි. ඒ ඉතිහාසය දැන දැන ම වසන් කිරීමෙන් ඉනිව්ස් උත්සාහ කරන්නේ, මේ භූමිය ඈත අතීතයේ සිට කොටි පාලනය කළා වැනි හැඟුමක් දැනවීමට ය. එවන් අදහස් නොවිණි නම් ඔවුන් කිව යුතු ව තිබුණේ මෙදා කැබිනට් රැස්වීම කිලිකොච්චියේ නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවති බව ය.

විම්ල් වීරවංශ ගෙන ගිය උපවාසය නිසා, සමස්ත රටේ ම අවධානය බෑන් කි මූන්ගේ කොටි කමිටුව වෙත යොමු වීම ද මෙරට ලොව පුරා සිටින දේශප්‍රේමින් එම කොටි කමිටුවට එරෙහිව නැගී සිටිම ද සිදුවන පසුබිමක කිලිකොච්චියේ කැබිනම් මණ්ඩලය රැස්වීම ද්‍රෝහීන්ට කෙසේ වුව ද මේ රටට ලැදිවුන්ගේ අමන්දානන්දයට හේතු වූ බව කිව යුතු ය. දුකට පත් වුව ද 'ආණ්ඩුව බොරු කියන්නේ, කිලිනොච්චියේ කියලා කැබිනට් මණ්ඩලය මැදවච්චියේ පැවැත්වූයේ' යැයි කීමට කිසිවෙක් අද ඉදිරිපත් නොවේ.




Thursday, July 8, 2010

මරණය නම් නිවටකමයි

ගිය වසරේ මැයි මස ත්‍රස්තවාදය මෙරටින් අතුගා දැමූ මොහොත වන විට සමස්ත රට දෙකඩ බෙදී තිබිණි. එක් පැත්තක ලංකා රජය, ලක් හමුදාව, දේශමාමක බලවේග, රටේ අති බහුතර ජනතාව සහ අපේ ඇතැම් මිත්‍ර රටවල් විය. අනෙක් පස කොටි සහ කොටි මිතුරු හවුල විය. නෝර්වේ ප්‍රමුඛ බටහිර රටවල්, එක්සත් ජාතීන්, ටීඑන්ඒ, රනිල්, රවි, කිරිඇල්ල ප්‍රමුඛ එජාපය, ලංකා ඉනිව්ස් වැනි වෙබ් අඩවි, සුනන්ද ද්වේශප්‍රිය ආදි නිදහස් මාධ්‍ය ව්‍යාපාරික පිරිස අනෙක් පස විය.

ඉන් වසරක් ගෙවී ගිය තැන තිස් වසරක යුද්ධය නිමා කර රටට සාමය දිනාදුන් දේශපාලන සහ හමුදා නායකත්වය ජාත්‍යන්තර දං ගෙඩියට දක්කාගෙන යාමට එක්සක් ජාතීන් යැයි හැදින්වෙන ඇමරිකානු බළල් අත පිඹුරු පත් සකසයි. මේ ලෝක මිනිමරුවා ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ ලක්ෂ 11ක් සිවිල් ජනතාව මරා දමා අපේ රටේ අතීතයේ සිදුවූ මානව අයිතීන් කඩවීම් සෙවීමට එයි. එසේ එන අතරමග ද අර දෙරටේ මිනිසුන් මරා දමයි. පලස්තීන ජනතාව එලිමහන් සිරගෙයක ලා සිටින ඊශ්‍රායලයට ආශීර්වාද කරයි. මේ කවර නාටකයක් ද? ගණිකාවක් කාන්තාවකගේ පතිවත සෙවීමක් නොවෙද?

අප වරදක් නොකළා නම් පර්යේෂණවලට බිය ඇයිදැයි ඇතැම්හු අපෙන් අසති. එහෙත් වරදක් නොකළ අප පරික්ෂා කිරීමට වැරදි කළ සහ තවමත් කරන අයෙකුට ඇත්තේ කවර අයිතියක් දැයි ඔවුහු නො අසති. එම ඊනියා පර්යේෂණ කමිටුව පිළිගැනීම ම අප වරදක් කළා යැයි පිළිගැනීමක් බව නොසිතති. මේ යෝජනාව මීට පෙර එක්සත් ජාතීන්ගේ බහුතර ඡන්දයෙන් දෙවරක් පරාජය වූ යෝජනාවක් නොසිතති. මෙවන් කමිටු පත් කිරීමට බෑන් කි මූන්ට කිසිදු බලයක් නැති බවනොසිතති. මේ කමිටුවේ අනීවාර්ය උපදේශය ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය වී ඇති හෙයින් වහාම පර්යේෂණ මණ්ඩලයක් පත් කරන්න යන නිර්දේශය බව මොවුන්ට නොපෙනේ.

කෙසේ වුව ද මෙදා ඊනියා කමිටුවට සුජාතභාවයක් දෙන්නට පෙළ ගැසී සිටින්නන් ද බොරු විරෝධතා පා ඊට ආශීර්වාද කරන්නන් ද යුද සමයේ ද ක්‍රියා කළේ මෙසේ ම බැව් කිව මනා නොවේ. එකල පවා විපක්ෂයේ සිටි සජිත් පේමදාස වැනි සැබෑ දේශප්‍රේමීහු අදත් රට වෙනුවෙන් පෙනී සිටිති. එදා යුද්ධය වෙනුවෙන් මුළු රටක් ජනතාවත් අවදි කළ විමල් වීරවංශ මෙදා රණවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, මව්බිමේ අභිමාණය වෙනුවෙන් මාරාන්තික උපවාසයකට පිවිස සිටියි. එවන් කොන්දක් ඇති එකෙකු හෝ මෙරට පාර්ලිමේන්තුවේ සිටීම ගැන අපි ආඩම්බර වන්නෙමු.

බටහිර ආක්‍රමණිකයා ඉදිරියේ දණ නොනැමූ අපේ මුතුන්මිත්තන්ගේ රුධිරයෙන් උපන් අපි, ලොව දරුණුම ත්‍රස්තවාදය ඉදිරියේ දණ නොගැසූ අපි, දැයේ අභිමාණය වෙනුවෙන් දිවිදුන් පුරන් අප්පු, මද්දුම බණ්ඩාර පරපුරෙන් පැවත එන අපි, හසලක වීර ගාමිණි වැනි වීරයින් විරුවන් උපන් බිමේ හුස්ම ගන්නා අපි, මේ ඊනියා ජාත්‍යන්තර කමිටුවලට ඉඩදිය යුතු නැත. ඊට විරුද්ධව පෙළ ගැසිය යුතු ය. අපට නිදහස දිනා දුන් අපේ රණවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙරමුණ ගත යුතුය. අපේ ජාතියේ අභිමාණයට නිගා නොකළ යුතු ය. පරයින්ගේ වහලුන් ලෙස නිවටව පරගැතිව සිය වසක් ජීවත් වනවාට වඩා අදීන මිනිසෙක් ලෙස මිය යාම අභිමාණයකි. එහෙයිනි මව් බිමේ අභිමාණය, ප්‍රෞඩත්වය වෙනුවෙන් පෙළ ගැසිය යුත්තේ.

අපේ රට තවත් ඉරාකයක් වන්නට ඉඩ දිය යුතු නැත. ඊළඟ සදාම් හුසේන් මෙරටින් බිහි වන්නට ඉඩ දිය යුතු නැත. අපි අද අභිමාණයෙන් ජීවත් වන්නේ එදා අපේ මුතුන් මිත්තන් දිවිපුදා මේ රට රැකගත් නිසා ය. මාතෘභූමියේ ආරක්ෂාව චිරස්ථිතිය වෙනුවෙන් සතුරා ඉල්ලා සිටින්නේ මහා රුධිර ගංගාවක් නම් අප ඒ සඳහා සුදානම් විය යුතු ය. මව්බිම වෙනුවෙන් දිවිදුන්නෝ කිසිදා නොමැරෙති. නිවටකම පරාධීනත්වය නම් මරණය මැයි.
 
සිය රට දේ සිරි සැප දේ !