Sunday, March 22, 2015

ජාතික ගීය දෙමළෙන්! බෙදුම්වාදය තව පියවරක් ඉදිරියට තබයි!

දින 100 වැඩසටහනට අනුව අදට යෙදී ඇත්තේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමයි. එහෙත් අද ජාතික ගීය දෙමළ බසින් ගැයීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා දී තිබේ. එය ඇතැම් විට ඊනියා ඖෂධ ප්‍රතිපත්තියේ කොටසක් විය හැකි ය. මේ යහ පාලන ව්‍යාධිය ඉන්දියාවට බෝ වුවහොත් එරට භාෂා 415න් පමණ ජාතික ගීය ගැයීමට සිදුවනු ඇත. දෙමළ දේශය හෙවත් තමිල්නාඩුව පිහිටි රටේවත් දෙමළ බසින් ජාතික ගීය ගැයීමට අවසර නැත. ඔවුහු එක් භාෂාවකින් ජාතික ගීය ගයති. වෙන්ව යෑමට නොව එක්ව සීටීමට එය භාවිත කරති.

අප මෙහිදී අවධාරණය කළ යුත්තේ දෙමළ භාෂාව කෙරෙහි අප තුළ කිසිදු අකමැත්තක් නැති බව සහ එය බෙදුම්වාදය පෝෂණය කිරීමට යොදා ගැනීමට පමණක් විරුද්ධ වන බව ය. මේ රටේ අවාසනාව නම් වසර 600ට පසු එක්සේසත් කළ රට වසර 5ක් ගෙවුණු තැන නැවත දීන නායකත්වයක් යටතේ බෙදුම්වාදය කරා ඇද ගෙන යාමය. මේ ගමන වහා නතර නොකළ හොත් සුද්දියක් අත් මේස් නැතිව අතට අත දීම පිළිබඳ උදම් අනන දීන නිවට නායකත්වය උතුරට ස්වයං පාලනය දී ඊළම පිහිටුවනු ඇත. යහ පාලනය බලයට පැමිණි විගස කොත්තමල්ලි මිල අඩුු කළේ අනාගත වැඩපිළිවෙළ ක්‍රියාවට නැඟෙන විට ජාතියට උණ ගන්නා බව කලින් ම තේරුම් ගෙන බව දැන් නම් හොඳට ම පැහැදිලි ය. 

Tuesday, March 10, 2015

රූපමය අවවාද යථාර්ථවාදී ද?

පසුගිය රජයේ සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා සිගරට් පෙට්ටිවල 80%ක් වැසෙන සේ රූපමය අවවාද ඇතුළත් කිරීම සඳහා බොහෝ උනන්දුවෙන් කටයුතු කළේ ය. කෙසේ වුව ද එම රූපමය අවවාද 60%ක් දක්වා අඩු කොට ඇතුළත් කිරීමට කටයුතු කරන බව පැවසුව ද එය එසේ සිදු නොවිණි. ඒ සඳහා රජයේ සහාය තමන්ට සහාය නොලැබුණු මෛත්‍රීපාල මහතා කීවේ ය. ඒ පිළිබඳ එකල මම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජය විවේචනය කළෙමි.

දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත්ව 80%ක් රූපමය අවවාද සහිත බව පැවසෙන සිගරට් පැකට්ටුව පෙබරවාරි 02 වන දා වන විට වෙළඳපොළට නිකුත් කර ඇත. මම මේ පිළිබඳ මීට පෙර සඳහන් කළේ එම රූපමය අවවාද සැබවින් දුම්බීම අධෛර්යමත් කෙරෙන ඒ නිසා හට ගන්නා පිළිකා, හෘදයාබාධවල භයානක බව පසක් කරන රූප මෙම අවවාදවලට ඇතුළත් කළ යුතු බව ය. එසේ ම තරු පන්තියේ හෝටලයක් බඳු කාමරයක සියලු වෛද්‍යධාර සහිතව ඇඳක වැතිර සිටින රැවටිලිකාර රූපයක් ඊට කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ද සඳහන් කළෙමි. එහෙත් දැන් සිදුව ඇත්තේ කුමක් ද?

දුම්කොළ සමාගම හුදු නීතියෙන් රිංගා යෑම ඇතුළත් කරනු ලබන, මා ඇතුළත් නො කළ යුතු බවට යෝජනා කළ වර්ගයේ රූපමය අවවාදයක් ඇතුළත් කර තිබීම පමණි. රටේ ජනාධිපතිවරයා සැබවින් ම දුම්පානයට විරුද්ධ නම් සමාගම්කාරයින්ගේ ව්‍යාජ මායාම්වලට හසු නො වී නිසි රූපමය අවවාද ඇතුළක් කළ යුතු ය. එමෙන් ම එම රූපමය අවවාද පැකට්ටුවෙන් 80%ක් නොව 50%කට වඩා විශාල නොවන බව ද එම රූපමය අවවාද සඳහා වෙන් කළ යුතු ඉඩෙන් විශාල ප්‍රමාණයක් "දුම්බීම හෘද රෝග ඇති කරවයි" යන වාක්‍යය භාෂා තුනෙන් මුද්‍රණය කර ඇති බව ද පැවසිය යුතුම ය. 

එමෙන් ම මේ රූපමය අවවාද ඔස්සේ යම් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගැනීමට අවශ්‍ය නම් රටේ සිගරට් පෙට්ටි පමණක් අලෙවි කළ හැකි වන පරිදි නව නීති ඇති කළ යුතු අතර බීඩි, සුරුට්ටු වැනි සිගරට්වලට ද වඩා භයානක දුම්වැටි වහා තහනම් කළ යුතු ය. සිගරට් පානය කරන පිරිසෙන් 60-70%ක් පමණ වරකට මිල දී ගන්නේ සිගරට් පෙට්ටි නොව සිගරට් එකක් හෝ කිහිපයකි. මේ නිසා ඉන්දියාව වැනි රටවල සිගරට් පෙට්ටි මිස එක දෙක විකිණීම නීතියෙන් තහනම් කර තිබේ. මේ තත්ත්වය පිළිබඳ ජනාධිපතිතුමාගේ අවධානය යොමු වනු ඇතැයි සිතමි. එසේ නැතහොත් ඉතා ම වැදගත් කටයුත්ත ද දින සියයේ තවත් එක් විහිළුවක් බවට පත්වීම නො වැළැක්විය හැකි ය.
   

Tuesday, March 3, 2015

ජවිපෙ ගොබෙල්ස් තියරිය

ජවිපෙ අනුර කුමාර දිසානායක, හෙළ උරුමයේ පාඨලි චම්පික රණවක මෙන් ම එජාපය ද දින සියයේ වැඩපිළිවෙළින් දින 40ක් පමණ ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩාව වටා රැස් වී උඩු බිරීමට ගත කළෝ ය. එහි ගනුදෙනුවල මහා දූෂණ අක්‍රමිකතා සිදුව ඇති බවට සපථ කළේය. මේ පිළිබඳ එහි හිමිකරු නිශ්ශංක සේනාධිපතිගෙන් ප්‍රශ්න කරන අතර ගමන් බලපත්‍රය ද රඳවා තබා ගෙන කලකින් නිදහස් කර ඇත. 

එහෙත් නැවත කරලියට පැමිණි අනුර කුමාර, අපරාධකරුවන්ට දඬුවම් දීම සිදු නොවන බවත්, නිශ්ශංක සේනාධිපතිගේ විදේශ ගමන් බලපත්‍රය නිදහස් කිරීම පිටුපස අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ සහ හිටපු ඇමති තිලක් මාරපන සිටින බවට සිංහනාද කළේ ය. කිසිදු අපරාධකරුවෙකුට දඬුවම් නො ලැබෙන බවත් ඒවා ගණන් නොගත යුතු බවත් විධායක ජනාධිපති ධූරය අහෝසි කර ගැනීම ප්‍රමුඛ වගකීම බවත් කියා දින කිහිපයකින් ඒ කටින් ම මේ ප්‍රකාශය අපට අසන්නට ලැබිණි. 

මේ අනුව යහ පාලන ආණ්ඩුව දිගින් දිගට ම විධායකය සහ ව්‍යවස්ථාදායකය අධිකරණ කටයුතු කරන බව ය. අගවිනිසුරු පහ කිරීම මෙන් ම නිශ්ශංක සේනාධිපතිගේ ගමන් බලපත්‍රය  නැවත ලබා දීම ද සිදු කරන්නේ නිසි අධිකරණ ක්‍රියා මාර්ගවලින් නොවේ. එහෙත් මේ නාටකයේ වඩාත් හාස්‍ය ජනක කොටස නම් එවැනි වරදක් සිදු නොවූ බව ප්‍රකාශ කරන නිශ්ශංක සේනාධිපති මෙන් ම විජේදාස රාජපක්ෂ ද ඒ පිළිබඳ අනුර කුමාරට විවාදයකට අභියෝග කළ විට, අර චෝදනා කළ සිංහ නාදය කැනහිල් කෙඳිරියක් බවට පත්ව පළා යෑම ය.

මේ පිළිබඳ අනුර පවසන්නේ ඇවන්ගාඩ් මුදලාලි සමඟ තමාට විවාදයක් අනවශ්‍ය බව ය. ඔහු නිශ්ශංක සේනාධිපතිට මුදලාලි යැයි කීවේ උපහාසයට විය යුතු ය. එහෙත් මේජර් නිශ්ශංක සේනාධිපති මහතා මේ රට වෙනුවෙන් සේවය කළ හමුදා සෙබලෙකු බව ද අමතක නොකළ යුතු ය. අනෙක් අතට ඔහු සිය ව්‍යාපාරය මගින් හමුදා සේවයෙන් විශ්‍රාම ගිය සෙබලුන්ට රැකියා විශාල ප්‍රමාණයක් සම්පාදනය කර, රටට විදේශ විනිමය රැගෙන එන ව්‍යවසායයෙකු වන අතර අනුර කුමාර මෙරට ජාතික දේපළ ගිනිබත් කළ අතීතයක් සහිත පක්ෂයක වර්තමාන නායකයා පමණි.

සිය නායක සහෝදරයා විවාදයෙන් පළා යෑම පිළිබඳ ටිල්වින් සිල්වා පවසන්නේ අනුර කරන චෝදනා බොරු නම් කිසිවෙකු කලබල විය යුතු නැති බව ය. අනුරලගේ කෙප්ප ප්‍රචාරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන ආකාරය මින් පැහැදිලි වෙයි. කිසිදු පදනමක් නැති පට්ටපල් බොරු චෝදනාවලින් හුස්ම නොගෙන ඇස් දෙක නළලේ තියා ගෙන සිය විරුද්ධවාදීන්ට පහර දීම එම ක්‍රමවේදයයි. මේ චෝදනා අසත්‍ය නිසා ඒ චෝදනා එල්ල වන අය බල්ලෙක් බිරුවට කන්දක් පහත් නොවේ යැයි සිතා නිහඬව සිටිති. අශූචි නා පැමිණි හිවල්ලු සමඟ සටනට නොයන සිංහලයෝ ජයග්‍රහණය හිවලුන්ට ලබා දී පසුබසිති. එහෙත් මේ බොරු උදේ හවස මාධ්‍යවලින් ෆේස්බුක්වලින් ජනතාව අතරට යන අතර මුල දී විශ්වාස නොකළ ද කෙමෙන් ඒවා ජනතාව පිළිගනිති. ගින්නක් නැතිව දුමක් නො නගිතියි සිතන ජනතාව ටික ටික අර කෙප්ප යාන්ත්‍රණයට ගොදුරු වෙති. 

විජේදාස රාජපක්ෂ පවසන පරිදි අනුර ලා එදා මහින්ද රාජපක්ෂට විරුද්ධව ද මෙවැනි පට්ට කෙබර ඇද බෑ අතර ජනතාව ඒවා දොහොත් මුදුන් දී පිළිගත්හ. දැන් ඒ චෝදනා කළ මෙගාඩීල් හොරකම් නොව සිදු වූ රට ම දන්නා ඇතැම් දූෂණ අක්‍රමිකතාවලට හෝ අපරාධකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කරනු වෙනුවට යහ පාලන ආණ්ඩුව අරලිය ගහ මන්දිරයේ මල් පෝච්චි ගම්පහ රැගෙන යමින් රටට විහිළු සපයයයි. 

කාලයක් තිස්සේ අනුර කුමාර ලා මහින්ද ආණ්ඩුවට එරෙහිව ගෙන ගිය ගොබෙල්ස් ප්‍රචාරණය සහ ඊට නිසි අවස්ථාවේ ප්‍රතිචාර නො දැක්වීම මහින්ද ආණ්ඩුවේ පරාජයට හේතු විය. කෙසේ වුව ද අනුර කුමාරලාට තව දුරටත් මේ ගොබෙල්ස් න්‍යාය ක්‍රියාත්මක කිරීමට ඉඩ දිය යුතු නැත. නිසි අවස්ථාවේ සියලු චෝදනාවලට පිළිතුරු ලබා දිය යුතු ය. එමගින් සියල්ල දූෂිත හෙයින් කිසිවකට දඬුවම් කළ නොහැකි යන මතය ඔස්සේ අපරාධ සාමාන්‍යකරණය වීම නිසා ඇති වන බරපතළ සමාජ පරිහානිය වළක්වා ගත යුතු ය. එමෙන් ම වැරදිකරුවන්ට දඬුවම් ලබා දිය යුතුම ය. 


   
 
සිය රට දේ සිරි සැප දේ !