(ෆේස්බුක්හි පිලිප් ශාන්ත නම් මා මිතුරාගේ කුඩා සටහනක් පිළිබඳ ඇති වූ කතාබහක් බහුජන හිතසුව පිණිස මගේ බ්ලොග් අඩවියේ පළ කරමි.)
Philip Shantha-දෙමළ විමුක්තිකාමීන්, බෙදුම්වාදීන්, ජාතිකවාදීන්, ජාතිවාදීන්, ලිබරල්වාදීන් එකතු වෙලා දෙමළ සංධානයක් විදිහට උතුරට තරග කළානෙ. උතුරෙ මිනිස්සු තෝරා ගත්තෙ විග්නේශ්වරන්ව.
ඒ වගේම සිංහල විමුක්තිකාමීන්, බෙදුම්වාදීන්, ජාතිකවාදීන්, ලිබරල්වාදීන් එකතුවෙලා බස්නාහිරට තරග කළානෙ. බස්නාහිර මිනිස්සු තෝර ගත්තෙ හිරුණිකාව.
ෂෝයි නෙ.
Lakshan Wickrema විග්නේශ්වරන් පෙනී සිටින්නේ දෙමළ ජාතිකවාදය වෙනුවෙන් - එච්චරයි
Namal Udalamatta නෑ විග්නේශ්වරන් මහ ඇමති අපේක්ෂක විදිහට නම් කරලා උතුරේ මිනිස්සුන්ට කීවා ඡන්දේ දෙන්න කියලා. බස්නාහිර කවුරුත් නම් කළේ නෑ මහ ඇමති විදිහට.
Philip Shantha ඒ විතරක් ද?
විග්නේශ්වරන් රෙද්ද බැනියම ඇදන් ඡන්දෙ ඉල්ලුවා. හිරුණිකා ගවුමක් හරි කලිසමක් හරි ඇදන් ඡන්දෙ ඉල්ලුවා.
නෙ?
Lakshan Wickrema පිලිප් දැන් කියන්න හදන්නෙ උතුරෙ මිනිස්සු බුද්ධිමත් වගේ කතාවක් නම් ඉතින් මීට වඩා ඒ ගැන කතා කරලත් වැඩක් නෑ
Namal Udalamatta හිරුණිකාට මනාප වැටුණේ වෙන වෙන හේතු නිසා. ඒ මනාප වුණේ කුඩු දුමියාට ඇති විරෝධය, නවක බව, ලස්සන, භාරත සිද්ධිය වගේ දේවල්.
Philip Shantha Namal Udalamatta එතකොට යාපනේ ලිස්ට් එකෙන් ආපු අර ආනන්දී සසීදරන්ට ඒ චාන්සස් තිබුනෙ නැද්ද?
Namal Udalamatta ඔව් පිලිප් එහෙම වෙන්න තිබුණා. මට මතක හැටියට ආනන්දිට තමා දෙවන තැනට වැඩිම මනාප තිබුණේ. එහෙම වුණේ විග්නේශ්වරන් මහ ඇමති විදිහට නම් කළ නිසා. එහෙම නම් කළෙත් විග්නේශ්වරන් දෙමළ ඩයස්පෝරාව රෝ එක සහ බටහිර තානාපතිවරු මිස දෙමළ ජනතාව හෝ ද්‍රවිඩ සංධානය නම් නොවේ. විග්නේශ්වරන් මහ ඇමති විදිහට නම් කළාම බොහෝ අය ඔහුට මනාපයක් දෙනවා තමන් කැමති අපේක්ෂකයින්ට අමතරව. ඒ විදිහට විග්නේශ්වරන් නම් නොකළා නම් ආනන්දි තමා මනාප වැඩි වෙන්නේ.
Philip Shantha Namal Udalamatta තීරණාත්ක වෙන්නෙ මහ ඇමති අපේක්ෂක ධූරයට පත් කිරීමම ද? ඒකෙන් ලැබෙන වාසිය කණ්ඩායම් නායකයාට හා මහ ඇමතිකම ලබාදෙන බව ඉහළින් එන හැගවුමට ලැබෙන්නෙ නැද්ද? කොටින්ම කියනව නම් ගම්මන්පිලට වාසියක් නොමැතිව හිරුණිකා තෝරා ගැනීමට තරම් කොළඹ සමාජය හිතුවෙ ඇයි? ගම්මන්පිලගෙ ජාතිකවාදය ඒ මිනිස්සුන්ට වැදගත් නොවුනෙ ඇයි?
Namal Udalamatta ඒක තේරුම් ගන්න අමාරු නෑ එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය වෙනුවට ගම්පහ ජනතාව පබා තෝරා ගත්තේ ඇයි කියලා හිතලා බැලුවා නම්. කොළඹ විතරක් නෙමේ කළුතර, මාතර වුණත් කණ්ඩායම් නායකයින් නෙමේනේ වැඩිම මනාප ගත්තේ. අනෙක ගම්මන්පිල දෙවනියා මිසක් අන්තිමයා නෙමේ. ඔහු ගියවර ලබපු මනාප ප්‍රමාණයට වඩා මෙවර මනාප ප්‍රමාණය වැඩියි. ඔබ හිතනවාද මෙවර හිරුණිකා ලබපු මනාප ප්‍රමණාය ඊළඟ වර වැඩි කර ගැනීමට තබා ආරක්ෂා කර ගැනීමටවත් පුළුවන් වෙයි කියලා? මම කියන්නේ බෑ. මේවා නිකන් වල්ග තරු විතරයි පිලිප්.
Philip Shantha අනාගතයෙ වෙන දේ ගැන නෙවෙයි තර්ක කළ යුත්තෙ. වෙච්ච දේ ගැන. මගේ තර්කය කරූව ප්‍රතික්ශේප කිරීමටත් අදාළයි. ඒක මේ ගම්මන්පිල පජ කරන්න කියන එකක් නෙවෙයි. අනෙක ගම්මන්පිලට ඔබ ලව් බව මා දන්නව. නමුත් එයාට ඇයි එහෙම උනේ කියන එක හැගීම්බරව නැතිව තාර්කිකව හොයන්න ඕන නේද?
Namal Udalamatta http://adaderana.lk/news.php?nid=26294
Namal Udalamatta වෙච්චි දේට හේතු මම කීවනේ. මතක නැත්නම් ආපහු බලන්න මුල් කමෙන්ට්ස්. "හිරුණිකාට මනාප වැටුණේ වෙන වෙන හේතු නිසා. ඒ මනාප වුණේ කුඩු දුමියාට ඇති විරෝධය, නවක බව, ලස්සන, භාරත සිද්ධිය වගේ දේවල්."
හිරුණිකාත් කියනවා නම් එයා දින්නේ තාත්තා නිසා කියලා තව මොනවාද? අනෙක ඒක ඔයා හිතන විදිහට සුවිශේෂ දෙයක් නොවන බවත් මම කීවානේ. ඉතින් තව මොනවාද තාර්කිකව තේරුම්ගත යුතු දේවල්?
මම ගම්මන්පිලට ලව් නම් ඔයා හිරුණිකාට ලව් කියලා මම කීවොත් ඒක හරිද? මම හිතන්නේ හරි නෑ. ඔයා දැන් හිරුණිකා වෙනුවෙන් පෙනී සිටිනවා වගේ පේන්නේ ඔබේ දේශපාලන හතුරාට වඩා මනාප ගත් නිසානේ.
ආරම්භයේදී කුඩු දුමියා අර ජින්ජර්, රුවන්ති සහ ගයේෂා දාලා හිරුණිකාගේ මනාප අඩු කරන්න කටයුතු කරද්දි මමත් හිරුණිකාගේ පැත්ත. (මම එයාගේ facebook page එකට ලයික් එකක් දැම්මේ ඒ දවස්වල) මම හිතනවා ඒ අම්මණ්ඩිලාට වඩා හිරුණිකා හොඳයි කියලා. හැබැයි ඉන් එහාට ආවම මම හිතනවා ගම්මන්පිල හොඳයි කියලා. එච්චරයි.
Philip Shantha මට නම් ඔය එකෙක්වත් හොද නෑ. ඒ වගේම වැඩි නපුරට වඩා අඩු නපුර ඕනෙත් නෑ. ගම්මන්පිලට ඔයා ලව් කිව්වෙ ඔයා ජාතිකවාදී මතයක ඉන්න නිසා. ඒකෙන් කමක් නෑ. මට ඕන ඔය වගේ පැතැලි හේතු ටිකක් කියල හිත නිවා ගන්න නෙවෙයි. සිංහල ජාතිකවාදය ශක්තිමත් නම් ගම්මන්පිල දෙවැනියට ඇදල දාල හිරුණිකා පළමුවැනිය කරාවිද?
හිරුණිකාට ඡන්දෙ දෙන්න දහසකුත් හේතු කියන්න පුලුවන්. නමුත් ගම්මන්පිලට නොදී හිරුණිකාට දෙන්න තරම් මිනිස්සු පෙළබුනේ ජාතිකවාදය ප්‍රතික්ශේප කරන නිසාද? ජාතිකවාදය අවශ්‍ය උනත් ඊට වඩා හිරුණිකාට වැඩි වටිනාකමක් ලැබුන නිසාද? එහෙම උනා නම් ජාතිකවාදය කියන්නෙ ශක්තිමත් ජන පදනමක නැති එකක් ද? නැත්නම් වෙන මොකක් හරිද? ඔන්න ඕව තමයි හොයල බලන්න ඕන.
එහෙම නැතිව "අනේ හැගීම්බර ඡන්ද එයාට ලැබුන කියන එක නෙවෙයි".
Namal Udalamatta ලංකාවේ මෑත කාලයේ කාන්තා දේශපාලනය කියන්නෙම හැඟීම්බර ඡන්ද තමා. ඇත්ත ට ම දේශපාලන සැමියා හෝ පියාගේ හදිසි මරණය තමා පදනම. මම පෙර දක්වපු හේතු වැරදි නම් ඒවා පෙන්වා දී නිවැරදි හේතු ඔයා මට පෙන්නලා දෙන්න පුළුවන් නම්. අවසානයේ හිරුණිකාත් කියනවා එයාගේ ඡන්ද පදනම ඒක කියලා. ඉතින් වෙන මොන කතාද? ගම්මන්පිල ඉතින් ශ්‍රීලනීපත් නෙමේ. එතකොට කොලඹ සංධාන ප්‍රධානීන් වුණත් ගම්මන්පිලට වඩා තම ගෝල බාලයින් ඥාතීන්ට තමා උදව් කරන්නේ. ඇත්තටම මනාප ක්‍රමය යටතේ සිය පක්ෂයේ අයම ගහ මරා ගනිද්දි වෙන පක්ෂයක ගම්මන්පිලට ඔවුන් උදව් කරයි කියලා හිතන්න බෑ. ජාතිකවාදයේ පදනමේ ශක්තිය මනින්න ඉක්මන් විය යුතු නෑ. ඒකට හොඳ සංරචකයකුත් නෙමේ මේ මැතිවරණය. මේ මැතිවරණයේදී සහ පසුගිය මැතිවරණවලදී මනාප ප්‍රතිඵලවලින් දෙවැනියා වුණු එකම කෙනා ගම්මන්පිල නම් අපට ඒ ගැන විශේෂයෙන් හිතන්න තිබුණා. නමුත් ඒකත් එහෙම නෙමේනේ. හැබැයි අර ජවිපෙ තරම් සන්ධානය තුළ බලය ස්ථාවර කරගන්න ගම්මන්පිලලා සමත් වුණේ නෑ. මොකද ජවිපෙ හෙළ උරුමයට වඩා බොහොම ශක්තිමත් සංවිධාන ශක්තියක් තියෙන පක්ෂයක්.
Philip Shantha 1. ඔයාගෙ හේතු දැක්වීම් වැරදිය හෝ හරිය කියල මා කියන්න යන්නෙ නෑ. මගේ ප්‍රශනය වන්නෙ සීරියස් ජාතිකවාදය වෙනුවෙන් පෙනී ඉන්න ගම්මන්පිල දෙවැනිය කරල හැගීම්බරව හිරුණිකාව පළමුවැනිය කරන්න තරම් බල පෑ සාධක ගැනයි. අරක නිසා මේක නිසා කියන්නෙ මිනිස්සු චන්දෙ දුන්න ස්වභාවයනෙ. මා අහන්නෙ ඒ තත්ත්වයට මිනිස්සු පත් උනේ ඇයි?
2. තමන්ගෙ ඡන්ද පදනම හැගීම්බරවීම කියල හිරුණිකා කියන එක ඔබට අනුව යථාර්ථය නම් ජාතිකවාදයට වඩා හැගීම්බරවීම ශක්තිමත් උනා නම් ඒක ජාතිකවාදය ව්‍යාප්ත කිරීමේ දුර්වලතාවක් නොවේද?
3. මොන බෙදීම් තිබුනත් ජනාධිපතිවරයාගේ හා ආරක්ෂක ලේකම්වරයාගේ උපරිම සහාය ගම්මන්පිලට තිබුනා. ඒ බව මිනිස්සු දන්නෙ නැද්ද?
4. ජාතිකවාදය මනින්න මේ මැතිවරණය හොද සංරචකයක් නෙවෙයි නම් ඒ තීරණයට ඔබ ආ සාධක මොනවාද?
5. හෙල උරුමයට වඩා ජේවීපී එක සංවිධාන ශක්තියක් තිබූ නිසා ජේවීපී එක ශ්‍රීලනිපය හා හවුලේ තරග කරන කොට ජෙප්පන් වැඩි මනාප ගත්තා යැයි ඔබ කියනව. එහෙමනම් එතැනින් කියවෙන්නෙ නැද්ද හොද සංවිධාන ශක්තියකට සමාජයේ සම්ප්‍රදායි හැගීම්, මතයන් හා සරල දේවල් ඉක්මවා යන්න පුලුවන් බව?
Namal Udalamatta 1. කරු ජයසූරියට වඩා පබා මනාප ගැනීමට ද මාතර කණ්ඩායම් නායක චන්දිම රාසපුත්‍රට වඩා පසඳ යාපා මනාප ගැනීමට ද කළුතර කණ්ඩායම් නායක ජගත් අංගගේට වඩා සෙනෙල් වෙල්ගම මනාප ගැනීමට ද කිසියම් හේතු සමුදායක් හේතු විණි ද ඒ හේතු සහ හිරුණිකා ශ්‍රීලනීප වීම, ඇගේ පියාගේ හදිසි මරණය, කුඩුදුමියා කෙරෙහි ඇති විරෝධය, කුඩු දුමියාට එරෙහිව ඇය ප්‍රභල හඬක් නැඟීම, ගම්මන්පිල සන්ධානයේ නොවීම ආදී හේතු නිසා හිරුණිකාට මනාප වැඩි විය. ඇයට මනාප දෙන තත්ත්වයට මිනිසුන් පත්විය.
2. ඔබේ මේ තර්කය නිවැරදි නම් කොළඹ ජාතික මතවාදය ඉතා ශක්තිමත්ය. මන්ද සන්ධානය තුළ නියෝජනය වන සෙසු සියලු දේශපාලන මතවාද පරයා ජාතිකවාදය ඉස්මතු වී ඇති හෙයිනි. එසේ නම් කළ යුත්තේ ජාතිකවාදයට වඩා සෙසු දේශපාලන මතවාද යටපත් වුණේ කෙසේද යන්න විමසා බැලීමය. එහෙත් එය එසේ නොවන බව මගේ අදහසය.
3. ජනාධිපතිවරයා කෙසේ වෙතත් ගෝඨාභය නම් ගම්මන්පිලට මනාප ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් බැසිල් ප්‍රසිද්ධ රැස්වීමක ප්‍රසන්න මහ ඇමති බව කියා තිබිණි. නාමල් ද හිරුණිකාගේ වේදිකාවට ගොඩ විය. ජනාධිපතිවරයාගේ උපරිම සහාය ගම්මන්පිලට ඇත්නම් ඔහු මහ ඇමති කිරීමට කිසිදු බාධාවක් නැතැයි සිතමි.
4. මේ ප්‍රශ්නය සඳහා පිළිතුර ඔබේ 2 වන ප්‍රශ්නයට ලබා දුන් පිළිතුර හා බැඳේ. මේ මනාප ප්‍රතිඵලවලින් එය නොමැනිය හැක්කේ ගම්මන්පිල දෙවැනියට මනාප ගැනීම තුළින් ජාතිකවාදය සෙසු දේශපාලන මතවාදවලට වඩා ඉදිරියට පැමිණ ඇතැයි නිගමනය කළ නොහැකි හෙයිනි. එවැනි නිගමනයකට ගියහොත් එය අතිශ්‍යෝක්තියකි. අනෙක් අතට හෙළ උරුමය මෙන් ම ජාතික නිදහස් පෙරමුණ ද සර්ව සම්පූර්ණ ජාතිකත්ව සංකල්පය නියෝජනය කරන පක්ෂවලට වඩා ඒ මතවාදය හා වඩා සමීප අදහස් දරන පක්ෂ ලෙස හැඳින්විය යුතුය. එම පක්ෂ නියෝජනය කළ ගම්මන්පිල මනාප ලැයිස්තුවේ දෙවැනි තැන ද රොජර් සෙනෙවිරත්න 4 වන තැන ද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ 15 වන තැන ද ලබා ගෙන තිබේ.
කෙසේ වුව ද මෙය පළාත් පාලන මැතිවරණයක් මිස ජාතික මැතිවරණයක් නොවේ. මෙහිදී ජාතිකත්වයට වඩා සෙසු කරුණු ඉස්මතු විය. එය ජාතික විජාතික මැතිවරණයක් ලෙස ගතහොත් ආණ්ඩුව සමාජගත කළේ තමන් ජාතිකත්වය ද විපක්ෂය විජාතික බලවේග ද නියෝජනය කරන බව පමණි. මේ කරුණු නිසා ජාතිකත්වය මැනීමට මෙය හොඳ නිර්ණායකයක් නොවේ.
(මේ රටේ සිංහල ජාතිකත්වයේ පක්ෂය වූ ශ්‍රීලනීපය චන්ද්‍රිකා සමයේ ඉන් ඉවත් වීම නිසා ඇති වූ රික්තය තාවකාලිකව පිරවීමට එම පක්ෂ බිහිවී යැයි සිතමි. අනාගතයේ වුව ශ්‍රීලනීපය නැවත ජාතිකත්වය වෙත පැමිණිය හොත් එම පක්ෂවල කාර්යභාරය අහෝසි වනු ඇත. මේ රටේ ජාතිකත්ව සංකල්පය පසුගිය දශක කිහිපයක් පුරා යටපත්ව පැවත නැවත ඉස්මතුව ඇතැයි කිව හැකිය. එය මේ අවස්ථාව වන විට මාක්ස්වාදයට වඩා ජනතාව අකර්ශනය කරගත හැකි තත්ත්වයට පත්ව ඇතැයි මම සිතමි.)
5. ජවිපෙ මතුවෙන්න හේතු වුණේ එය පමණක් නොවේ. ඊට ශ්‍රීලනීප අපේක්ෂකයින්ගේ දූෂණ, වංචා, මහජන දේපළ නාස්තිය සහ ජවිපෙ අවංක චාම් බව ආදිය ඊට හේතු විය. ජවිපෙ සතු සංවිධාන ශක්තියෙන් පමණක් එය කළ නොහැකි බවත් ඔවුන් දරණ මාක්ස්වාදී අදහස්වලට මෙරට බහුතර ජනතාව තුළ කැමැත්තක් නොවන බව ද ඊට පසු ඔවුන් තනිව තරඟ කළ මැතිවරණවලින් සනාථ විය.
Philip Shantha එකම කාරණා ටික පුන පුනා කියන නිසා මගේ ප්‍රශ්න වෙනත් ආකාරයකට අහන්නම්. අපි උදාහරණයක් ගනිමු. ලංකාවෙ කාලයක් ශක්තිමත්ව තිබූ වාමාංශික ව්‍යාපාරය බිද වැටී දැන් නැත්තටම නැති ගිහිල්ලනෙ. ඒකට හේතු උනේ එම පක්ෂ දැරූ මතවාදයන්හි අභ්‍යන්තර සාධක. ඒ කියන්නෙ ලෝක පරිමානයෙන් මාක්ස් ලෙනින්වාදී ව්‍යාපාරය පසු බැසීම, ලංකාව තුළ ඒ වමේ පක්ෂ ගෙනගිය දේශපාලනයේ අවලංගුභාවය හා ඊට අදාළ ගැටළු. ඒ නිසා යමෙක් ඇහැව්වොත් 1977 දී වමාංශික පක්ෂ අතු ගෑවී ගියේ ඇයිද කියල මා කියන්නෙ නෑ යූඑන්පී එක විශාල ජයක් ලැබීම වාමාංශික පක්ෂ අතු ගෑවීමට හේතු උන කාරණය වෙනව කියල. මා සිතන්නේ යූඑන්පී එක විශාල ජයක් ලැබුවේම වමේ පක්ෂ අසාර්ථක අවලංගු උන නිසයි. ඒව එහෙම උනේ අර කලින් කිව්ව සාධක නිසයි.
ඉතින් ගම්මන්පිල දෙවැනියා උනේ හිරුණිකා පළමුවැනියා වීම කීම තේරුමක් නැති කතාවක්. ඒ වගේම හිරුණිකා පළමුවැනියා උනේ හැගීම්බරවීම වැනි කාරණාය කීමත් විහිළුවක්. ගම්මන්පිලගේ ජාතිකවාදය ශක්තිමත් උනා නම් මොන හැගීමෙන් බර උනත් ගම්මන්පිල දිනන්න ඕන. ඒ කියන්නෙ ගම්මන්පිල දෙවැනියා උනේ ජාතිකවාදයේ අභ්‍යන්තර ප්‍රශ්නයක් නිසා මිසක් හිරුණිකාට හැගීම්බර චන්ද ලැබීම කියන බාහිර සාධකය නිසා නෙවෙයි. බාහිර සාධකය ගොඩනැංවෙන්නේම අර මුලින් කී අභ්‍යන්තර සාධකය නිසයි.
ඒ නිසා අභ්‍යන්තර සාධක වසා ගනිමින් බාහිර සාධක ඉස්මතු කිරීම තේරුමක් නෑ. හැබැයි ලංකාවෙ සම්ප්‍රදායි දේශපාලනයේ ජනප්‍රිය තර්කය ඕකම තමයි. වාමාංශික දක්ෂිණාංශික බේදයක් නැතිව සාමාන්‍යයෙන් පළමුව ඇගිල්ල දිගු කරන්නේ බාහිර සාධකයට. වාමාංශික ව්‍යාපාරය ඊට ආවේනික අභ්‍යන්තර සාධක නිසා දුර්වල වූවා සේම ජාතිකවාදී ව්‍යාපාරය ද ඊට ආවේනික අභ්‍යන්තර සාධක නිසා පසුබෑම තේරුම් ගැනීමට දෙපාර්ශ්වයේම මතධාරීන්ට නොහැකිවීම කනගාටුවට කරුණක්. නාමල් උඩලමත්ත වැටී ඇත්තේ ද ඒ අගාධයටයි.
Namal Udalamatta ඔයා මුලින් කියන්න ගියේ උතුරේ මිනිස්සු බස්නාහිර මිනිස්සුන්ට වඩා බුද්ධිමත් කියන එකනේ. ඒක සනාථ කරන්න ගිහින් ඔයා නතර වුණේ බස්නාහිර ජාතික මතවාදය දුර්වලයි කියන නිගමනයෙන්. ඒත් ඔයා ඒ සඳහා දක්වන සාධකවලින් නම් ඒ නිගමනයවත් සනාථ කරන්න බෑ. අඩු තරමේ මීට පෙර ජාතික මතවාද ඉන් එහා ගිය ජයග්‍රහණයක් ලබා තිබී අහිමි වුණා නම් එහි පදනමක් තියෙනවා කතා කරන්න. හිරුණිකාගේ කඳුලුවලට වඩා ජාතිකත්ව මතවාදය දුර්වලයි කියලා මනාපවලින් තීරණය කළ හැකි නම් ගම්මන්පිලට වඩා අඩු මනාප ගනිපු අය දරන සෙසු දේශපාලන මතවාද ජාතිකත්වයට වඩා දුර්වලයි කියලා ඔබට පිළිගන්න වෙනවා. නමුත් මම නම් එහෙම හිතන්නේ නෑ. නමුත් ඔබ මෙහිදී මා පෙන්වා දුන් කිසිදු කරුණක් නිශේධනය නොකර වෙන වෙන දේවල් කියනවා. කෙසේ නමුත් මේ සංවාදය මුල සිට කියවන අයෙකුට යමක් උගත හැකි යයි මම සිතනවා. මේ ඇති නේද?
Philip Shantha උතුර ගැන මා කියන්න හැදුවා යැයි ඔබ සිතන දේ වැරදියි. හැබැයි මුලින් කතා කරන හිටි දේ පසුව සංවාදය අනුව වෙනතකට ගියා.
ගම්මන්පිල සුවිශේෂී කෙනෙක්. එයා අනෙකුත් අය සමග සසදන්න බෑ. උදාහරණයකට ඔය ලිස්ට් එකෙන්ම ආ උපාලි කොඩිකාර තුන්වැනිය උනා. නමුත් අපි දන්නව පොර ආවෙ කිසිම දේශපාලන මතයකින් නෙවෙයි කියල. (හැබැයි පොර අදේශපාලනිකත් නෑ). ඒත් ගම්මන්පිල එහෙම නෙවෙයි. එයාගෙ දේශපාලන සම්ප්‍රාප්තියම ජාතිකවාදී සමස්ත වැඩපිලිවෙක කොටසක්. ඉතිහාසයේ ප්‍රථම වතාවට සංධානය විසින් ශ්‍රී ලනිප නොවන කෙනෙකුට කණ්ඩායම් නායකකම දුන්නෙ නිකන් නෙවෙයි. ඒ වගේම විශාල රිස්ක් එකක් අරන් ආරක්ෂක ලේකම් එයාගෙ වේදිකාවට ආවෙ නිකන් නෙවෙයි. බැසිල් මුලින් කට වරද්දගෙන පසුව ඒක නිවැරදි කළේ නිකන් නෙවෙයි. එතකොට ගම්මන්පිල සුවිශේශී කෙනෙක්. ඒක උපාලි කොඩිකාර හෝ වෙනත් කෙනෙකුට සමාන කරන්න පුලුවන් එකක් නෙවෙයි.
මගේ තර්කය ඔයාට පිළිගන්න බෑ බෑ වගේ නම් මෙහෙම හිතන්න. කොළඹ දී ජේවීපී එක ගත්ත චන්ද අනුව ලාල්කාන්ත ගත්ත අඩු මනාප ප්‍රමාණය දේශපාලනිකව යමක් කියනව නේද? අන්න එහෙම එකක් තමයි මම කියන්නෙ. ඔයාට ඒක පිළිගන්න අමාරු වීම මට තේරුම් ගන්න පුලුවන්.
Philip Shantha ඔයා කියන දේවල් පිලිගන්නෙ නැතිව ප්‍රතික්ශේප නොකර, ඉන්නෙ ඔයා කතා කරන්නෙ වෙන ට්‍රැක් එකක නිසයි. ඒව මගේ පොයින්ට් එකට අදාළ නෑ. ඉතින් අදාළ නැති දේවල් මා සැලකිල්ලට ගන්නෙ නෑ.
Wednesday, April 2, 2014
Thursday, March 27, 2014
පළාත් සභා ඡන්දයේදී ඔබ ගතයුතු මඟ
නැවත පළාත් සභා ඡන්දයක් පැමිණ තිබේ. එහි සමස්ත ප්‍රතිඵල පසුගිය මැතිවරණවලට වඩා වෙනස් නොවනු ඇත. විපක්ෂය කෙතරම් මොර දුන්නද බටහිර රාජ්‍ය කෙතරම් සූක්ෂම මෙහෙයුම් දියත් කළ ද ජනතාවට තවම ආණ්ඩුව එපා වී නොමැත. විවිධ දුර්වලතා තිබුණ ද නාහේ වැරැද්දට මූණ කපා ගැනීමට ජනතාව සුදානම් නැත. එහෙයින් මේ පළාත් සභා ඡන්දය ද ආණ්ඩුව පහසු ලෙස ජය ගනු ඇත. දිනාගත් සාමය විනාශ කොට උතුරේ ඊළමක් තැනීමට වළිකන දෙස් විදෙස් බලවේග ජිනීවාහි කඩු මදින මොහොතක ජිනීවා දෙදරුම් කන තීන්දුවක් ගැනීම දේශමාමක ජනතාවගේ යුතුකමයි. එදා රටේ රජු පන්නා දමා තමන්ට රජවීමට ඉංග්‍රීසි ආක්‍රමණිකයා සමඟ කුමන්ත්‍රණය කළ ඇහැළපොල නිසා සිදුවූයේ සතුරාට කිසිදා යුද්ධයෙන් දිනාගැනීමට නොහැකි වූ වසර 2000ක් රැකගත් අපේ ස්වාධීන රාජ්‍යය බන්දේසියක තබා සතුරාට බිලිදීම පමණක් බව ද ඇහැළේපොළ ලද කිසි ජයක් නොමැති බව ද අද බටහිර ආක්‍රමණිකයින් පැමිණ මහින්ද පන්නා දමා තමන්ට රජකම ලබා දෙතැයි දහවල් සිහින දකින්නවුන් ඉතිහාසයෙන් පාඩම් උගත යුතුය.
කෙසේ වුව ද අපේ සාම්ප්‍රදායක පාලන ක්‍රමය විනාශ කොට නිර්මාණය කළ මේ පළාත් සභා ක්‍රමය දැන් රටට ඉසිලිය නොහැකි බරක් බවට පත්ව තිබේ. ඉන්දීය බලපෑම් මත නිර්මාණය කරගත් පළාත් සභා ක්‍රමය අපේක්ෂිත කිසිදු ඵලයක් ලබා නොදුන් නිසා පසුගිය සමයේ සුදු අලියෙකු ලෙස හැඳින්විය. එහෙත් දැන් එය මහජන රුධිරය සමඟ මාතෘභූමියේ සාරය උරාබොන යෝධ ඩ්‍රැකියුලෙකු බවට පත්ව තිබේ. අනන්ත කැපකිරීම් කොට බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත් රට නැවත ඊළම කරා දක්කන විසාදියක් බවට පත්ව තිබේ. එහෙයින් දේශ මාමක ජනතාව මේ මැතිවරණයයේදී ඉතා බුද්ධිමත්ව රට වෙනුවෙන් සිය යුතුකම වගකිම නොපිරිහෙළා ඉටු කළ යුතුමය. එසේ නැතහොත් අප රටක් ලෙස පසුගිය සමයේ නෙළාගත් සියලු ජයග්‍රහණ ගඟට තැපූ ඉණිබවට පත්වීමට වැඩි කලක් නොයනු ඇත. ඒ පිළිබඳ අපගේ අදහස් කිහිපයක් ලුහුඬින් වුව ලියා තැබීම මේ කෙටි ලිපියේ අරමුණයි.
අනේපිඬු වෙස් ගත් චෞරයෝ
මේ දිනවල ඡන්ද අපේක්ෂයින් විසි හතර පැය පුරා දොර දන් දෙයි. හදිසියේ සුරභිදෙන පහළ වූ පරිදි පොල් පැල, උදලු, සාරි, දුරකතන ඇතුළු නා නා සම්පත් ජනතාවට හිමිවෙයි. ඔබේ විනෝදාස්වාදය පිණිස හංදියක් හංදියක් ගාණේ සංගීත සාජ්ජ පැවැත්වෙයි. එහෙත් මෙලෙස දන් දෙන්නේ වියපැහැදම් කරන්නේ ඔවුන් ධාර්මික ලෙස ඉපයූ ධනය නම් නොවේ. විවිධ ජඩ මාර්ග ඔස්සේ ඉපයූ කළු සල්ලිය.
කොටින්ම කිවහොත් අපේක්ෂකයින් මෙසේ දන් දෙන්නේ කලක් තිස්සේ හොරකම් කළ මහජන දේපළවලින් ඇබින්ඳකි. ඔබ උදේ හවස යනෙන පාර බාල ප්‍රමිතියට තනා හොරකම් කළ මුදලින් ඇබින්ඳකි. ඔබේ දරුවාගේ අධ්‍යාපනය සෞඛ්‍යය වෙන්විය යුතු එහෙත් ගසා කෑ මුදලින් ඇබින්ඳකි. ඔබේ රෝහලට බාල බෙහෙත් ගෙන කොමිස් ලෙස ගත් මුදලින් ඇබින්ඳකි. නැතහොත් ඒ අපේක්ෂකයින් පිටුපස සිටින කුඩුකාරයින්ගේ මැරයින් මුස්ලිම් අන්තවාදීන්ගේ කළු සල්ලිය. රටේ මහජන මතය කෘත්‍රීම ලෙස වෙනස් කොට ආණ්ඩු පෙරළීමට NGO හරහා බටහිර රටවල් පොම්ප කරන මුදල්ය. ඔවුන් මේ කරනුයේ ගිනිවැල් පොලියට ණයට දීම වැනි කටයුත්තකි. අනාගත ආයෝජනයකි. ඔබට අද උදළු කෙටියක අල්ලසක් දී ඔබෙන් කොල්ල කා ගන්නා මනාපයෙන් මේ කුප්‍රකට අපේක්ෂයින් හෙට උදළු සියක් කෝටි ගණනක ඔබේ දේපළ ඔබේ සුභ සාධනයට වෙන් විය යුතු මුදල් ගසාකනු ඇත. ඔබෙන් අද කොල්ලකා ගන්නා මනාපයෙන් හෙට රටම කොල්ලකනු ඇත.
එහෙයින් ඔබ කුමන පක්ෂයක වුව ද මෙලෙස විවිධ අල්ලස් වරදාන දොළපිදේනී දී ඔබේ මනාපය කොල්ලකෑමට එන දූෂිතයින්ගේ උගුල්වල නොවැටෙන්න. ඔබට ඔවුන් ලබාදෙන ඕනෑම දෙයක් ඔබ භාර ගන්න. මන්ද ඒ ඔබටත් හොරා ඔබෙන්ම කොල්ල කෑ මුදල්ය. ඒවා පරිභෝජනය කිරීමට ඔබට ශුද්ධ වූ අයිතියක් තිබේ. ඉන් ඔබට කිසිදු පවක් සිදු නොවේ. එහෙත් ඔබේ මනාපය මේ කොමිස්කාරයින්ට අල්ලස්කාරයින්ට ලබාදී මේ පාලන තන්ත්‍රය තවත් දූෂණය වීමට ඉඩ නොදෙන්න. ධන බලයට නිල බලයට මැර බලයට ඔබේ පරමාධිපත්‍යය අයිතිය පවා නොදෙනන්න. ඔවුන්ට මනාපය ලබා දීම ඔස්සේ ඔබ කරනුයේ ඔබේ දරු මුනුබුරන්ගේ ද අනාගතය සුරා ගෙන කෑමට දූෂිත චෞර රංචුවකට අනුමැතිය ලබාදීමේ මහා පාපකර්මයට දායක වීම පමණි.
සිරසේ කකුල් මාට්ටුව
මේ රටේ ජන මනස විකෘති විපරීත කිරීම සඳහා මෙන්ම් බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පෝෂණය කිරීම සඳහා සිය කුප්‍රකට මාධ්‍ය ජාලය භාවිත කළ මහා රාජලා සිය වක්‍ර දේශපාලන උපක්‍රම අසාර්ථක වූ පසු දේශපාලන පක්ෂ තුළට සිය හෙංචයියන් රිංගවීමේ අලුත් උපක්‍රමයක් අනුගමනය කරන බව පෙනේ. එහි අරමුණ සිය පරාජිත දේශපාලන න්‍යාය පත්‍රය මේ රූකඩයින් ලබා ක්‍රියාත්මක කරවීමය. පසුගිය සමයේ කලක් සිය ගජමිතුරා වූ රනිල් වික්‍රමසිංහට එරෙහිව මහාරාජා සිරස ඇතුළු නාලිකාවල ප්‍රවෘත්ති විකාසනයේ විශාල කාලයක් වෙන් කොට ගෙන ගිය වෛරී දේශපාලන මඩ ව්‍යාපාරයට හේතු වූයේ රනිල් සමඟ ඔහු ඇති කරගත් කුප්‍රකට ගිවිසුමක් රනිල් විසින් කඩකිරීමය. සන්ධානය ඔස්සේ සුසාර දිනාල් ද එජාපය ඔස්සේ එස්.එම්. මරික්කාර් ද ගිනිසිළුවෙන් සුසිල් කිඳෙල්පිටිය ද යොදා ගෙන මහාරාජා අර අඳින්නේ සිය දේශද්‍රෝහි න්‍යාය පත්‍රය මේ රටේ ප්‍රධන පක්ෂවලට ද රිංගවා ගැනීමටය. එහෙයින් කොන්දේසී විරහිතව සියලු පාක්ෂිකයින් මහාරාජාගේ දේශද්‍රෝහී මාධ්‍ය චෞරයින් පරාජය කිරීමට වගබලාගත යුතුමය. ඔබ කුමන පක්ෂයක වුවත් මේ දේශද්‍රෝහීන්ට මනාප ලබා නොදිය යුතුය.
කාන්තා නියෝජනය
මේ රටේ කාන්තාවන් උගත් බුද්ධිමත් පිරිසකි. සිංහල බෞද්ධ පවුල් සංස්ථාවේ කැණිමඬල කාන්තාවයි. ඇය මෙරට සමාජයේ විවිධ වගකීම් උසුලයි. ලොව ප්‍රථම අගමැතිනිය පහළ වූයේ මේ රටෙනි. අතීතයේ කාන්තාවන් මෙරට රජකම පවා උසුලා තිබේ. එහෙයින් ඇගේ හඬ මෙරට දේශපාලනය තුළ නියෝජනය විය යුතුය. එසේ නියෝජනය කළ යුත්තේ සමස්ත ලාංකේය කාන්තා පරපුරේ පුරුෂාර්ථ සහිත කාන්තාවන් පිරිසක් විසිනි. එහෙත් මෙවර පළාත් සභා මැතිවරණය සඳහා එවන් සුදුසුකම් සහිත කාන්තා නියෝජනයක් නොමැත. නාම යෝජනා සඳහා ඉදිරිපත් වූ ලිංගික ප්‍රතිරූප කිහිපයකට ජනතා විරෝධය නිසා නාමයෝජනා නොලැබුණ ද ඇතැම් සිනමා ටෙලි ගණිකා පිරිසක් මෙරට කාන්තාවන් නියෝජනය කිරීමට ඔබේ මනාපය අපේක්ෂා කරති. ඔබ කුමන පක්ෂයක වුවත් මේ වසංගතවලට ඡන්දය ලබා දීමෙන් වැළකීම මේ රටේ කාන්තාවන් වෙනුවෙන් ඉටු කළ හැකි උතුම්ම සේවාවකි. කිසිදු දේශපාලන විඥානයක් නොමැති මේ ලිංගික උත්තේජන භාණ්ඩ ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් ප්‍රසිද්ධ මධ්‍යවල පැවැත්වූ දේශපාලන සංවාද නම් විහිළු හොඳට ම ප්‍රමාණවත්ය.
පරම්පරා දේශපාලය
මෙරට පාර්ලිමේන්තු බලවතුන් විසින් පළාත් සභාව අවභාවිත කරනුයේ සිය බිරිඳට, අනියම් බිරිඳට, දුවට, පුතාට, ඥාතියාට, හිතවතාට සිතුපැතු සම්පත් ලබා දෙන ඉල්ලමක් ලෙසිනි. තමාගේ ඇවෑමෙන් පාලන බලය තම අනුප්‍රාප්තිකයාට ලබාදීමට අවශ්‍ය පෙරහුරුව ලබාදෙන තක්සලාව වශයෙනි. එහෙත් මේ පිරිසට පරපුරෙන් උරුම වූ හොරකම් මැරකම් ජඩකම් බලුකම් පිළිබඳ දැනුම මිස කිසිදු දේශපාලන දැනුමක් නොමැත. එක්තරා ඇමතියෙකුගේ දියණියක් සහල් කිලෝ එකක මිල නොදන්නියකි. මෙවන් පරම්පරා රකින බහිරවයින් පළාත් සභාවල අරක් ගැනීම නිසා සිදුව ඇත්තේ දේශපාලන විඥානයක් සහිත දෑ හිතැති බුද්ධිමත් තරුණ නායකයින්ට දේශපාලනයට ප්‍රවිශ්ට වීමට ඇති සියලු ඉඩකඩ අවුරා දැමීමය. ඒ තරුණයින්ට මේ දේශපාලන තාත්තලාගේ පුතුන් සමඟ තරඟ කළ නොහැක්කේ ඔවුන් පරම්පරාවෙන් ඉපයූ කළු සල්ලි නිසාය. මේ නිසා රටේ අනාගතය භාර ගැනීමට දෙවන පෙළ නායකත්වයක් බිහි නොවන අතර නිතරඟයෙන් ම කිසිදු දේශපාලන සුදුසුකමක් නැති චෞරයෝ ඒ තැන්වලට පැමිණෙති. එහි අවසාන ප්‍රතිඵලය සමස්ත රටම සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික සෑම අංශයකින් ම නාය යෑමය. ඒ නිසා කළු සල්ලි බලයෙන් මැර බලයෙන් තාත්තලාගේ පිහිටින් පළාත් සභාවට රිංගා ගැනීමට වෙර දරන නුසුදුස්සන්ට ඔබේ වටිනා මනාපය ලබාදී රටේ අනාගතය විනාශ නොකර ඔබේ වගකීම ඉටු කරන්න.
බෙදුම්වාදී දෙබිඩ්ඩෝ
මේ ආණ්ඩුව ඒකීය රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටින ජාතිකවාදීන් විසින් ගොඩනැඟුව ද ඒ තුළ බෙදුම්වාදී පිල්ලි නැත්තේ නොවේ. විවිධ සමාජවාදි මාක්ස්වාදී මූලයන් සහිත පක්ෂ නියෝජනය කරන මේ සිංහල නාමධාරීහු මැතිවරණවලදී නිහඬව සිංහල බෞද්ධ ඡන්ද ඩැහැගෙන අනතුරුව සිංහල ජාතියේ ද බුදුදහමේද විනාශය පිණිස කටයුතු කරනු ලැබේ. සිය පක්ෂවල මූලධර්මවලින් නෙත් අඳ කරගත් මොවුන් රටේ ප්‍රධාන ජාතිය වන සිංහල ජාතිය සහ බුදු දහම දෙස බලනුයේ වෛරයෙනි. සිය හීනමානය සඟවා ගනු පිණිස රටේ සෙසු ජාතීන් කෙරෙහි මහා අනුකම්පාවක් ප්‍රදර්ශනය කරන මොවුහු එම ජාතිවල ගැලවුම්කාර වෙස් ගෙන රඟති. ජාතික ගීය දෙමළින් ගයන්නැයි කියන්නේ දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණන අයිතිය ගැන නන් දොඩවන්නේ මොවුන්ය. මෙවර මැතිවරණට ඉදිරිපත්ව ඇති ඇතැම් චීවරධාරීහු ද බුදුන්ගේ නොව කාල් මාක්ස්ගේ ගෝළයින්ය. එහෙත් සෙසු ජාතීන්ට අයත් නියෝජිතයින් මෙවන් කසිකබල් බටහිර විකාර ඔලුවට නොගෙන සිය ජාතීයේ අභිවෘර්ධිය පිණිස කටයුතු කරනු ඔබට දැකිය හැකිය. එහෙයින් සිංහල බෞද්ධ ඔබේ කැමැත්තෙන් පත්ව විවිධ අන්තවාදී කල්ලිවලට අනු රඟන අයට ඔබේ මනාපය ලබා නොදෙන්න. එසේ ලබාදී ඔබේ ජාතියේ වළ ඔබ විසින් කපා නොගන්න.
ඔබේ මනාපය කාටද?
මෙලෙස විවිධ නුසුදුසුකම් කියාපාමීන් ඔවුන් පළාත් පාලන ආයතනවලට පත් නොකරන්නැයි පවසා ඔබේ මනාපය ලබා දිය යුත්තේ කාටදැයි නොපවසා මේ ලිපිය අවසන් කිරීම නො මැනවි. සැබවින්ම ඔබ පළාත් පාලන ආයතනවලට පත් කළ යුත්තේ කවුද? ඒ සඳහා සැපිරිය යුතු සුදුසුකම් කවරේද? ඔබ විසින් මේ මැතිවරණයේදී තෝරාපත් කරගත යුත්තේ පෙර සඳහන් කළ අගතීන්ගෙන් විනිර්මුක්ත ඒකීය ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින සිංහල බෞද්ධ සංස්කෘතිය මේ රටේ ප්‍රධාන සංස්කෘතිය ලෙස පිළිගන්නා පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට කැමති දේශමාමක පිරිසකි. ඔබ කවර පක්ෂයකට ඡන්දය ලබා දුන්නත් ඔබේ මනාපය පෙර සඳහන් කළ දුර්ගුණ නොමැති බුද්ධිමත් උගත් ජාතිමාමකයින් වෙත ලබා දෙන්න. සන්ධාන ආණ්ඩුව තුළ ජාතික හෙළ උරුමයේ සහ ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයින් ඒ සඳහා මේ මොහොතේ ඔබට කළ හැකි හොඳම තෝරා ගැනීමයි. එය මේ රටේ ද ඔබේ දරුවාගේ ද අනාගතය වෙනුවෙන් කළ හැකි මහා ආයෝජනයකි.
බෙදුම්වාදයට එරෙහිව ගම්මන්පිල
අප බෙදුම්වාදයේ ත්‍රස්ත හිස විනාශ කළ ද එහි ප්‍රජාතන්ත්‍රවාදී හිස පෙරටත් වඩා වේගයෙන් ලොව පුරා දලුළා වැඩෙයි. උතුරු පළාත් සභාව විග්නේශ්වරන්ට ලබාදීම ඔස්සේ දෙමළ ඩයස්පෝරාව ඇතුළු බෙදුම්වාදී කඳවුර ඒ සඳහා අවශ්‍ය මුල් පියවර තබා තිබේ. පළාත් සභාවට බලතල ප්‍රමණාවත් නොමැති බවට මැසිවිලි නඟමින් කොටි ත්‍රස්තයින් උතුරින් පළවා හැරි සිංහලයින් නැවත පදිංචි කිරීමට ඉඩ නොදෙමින් ඔහු සටන දියත් කර තිබේ. මේ අවස්ථාවේ ඔහු සමඟ මුහුණට මුහුණලා සටන් කළ හැකි පිරිසක් දකුණු සහ බස්නාහිර පළාත් සභාවලට තෝරා පත් කර යැවිය යුතුය. ඒ සඳහා උදය ගම්මන්පිල, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, රොජර් සෙනෙවිරත්න, මධුමාධව අරවින්ද වැනි අය පළාත් සභාව නියෝජනය කිරීම ඉතාම වැදගත්ය. විශේෂයෙන් විග්නේශ්වරන්ට පිළිතුරු දීම සඳහා බෙදුම්වාදී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය සමඟ මුහුණට මුහුණලා සටන් කිරීම සඳහා ගම්මන්පිල බස්නාහිර මහ ඇමති කළ යුතුය. බෙදුම්වාදී පෙරමුණු දණ ගැස්සවීමට පමණක් නොව ඔබ සැම බලාපොරොත්තු වන ගරු කටයුතු මහත්මා දේශපාලනයක් සඳහා එය මහඟු පිටුබලයක් වනු ඇත. එමගින් අපට වර්තමානයේ මුහුණදීමට සිදුව ඇති බෙදුම්වාදී තර්ජනයට සාර්ථකව මුහුණදීමට සහ දිගුකාලීනව පළාත් සභා පිළිලය ඉවත් කර රටේ ඒකීයත්වය සුරක්ෂිත කිරීමට අවශ්‍ය දෙවන පෙළ නායකත්වය පළාත් සභා ඔස්සේ බිහිකර ගත හැකි වනු ඇත.
Tuesday, March 18, 2014
අධිවේගයත් මග මරුවන්ට පාවා දෙමුද?
මේ වන විට රට පුරා ව්‍යාප්තව පවතින අධිවේගී මාර්ග ජාලය ඔස්සේ මගී ප්‍රවාහන කටයුතු කරනුයේ ලංගම සහ ඩී.එස්. ගුණසේකරගේ බස් රථ පමණි. මේ නිසා ජනතාවට කිසිදු බියක් සැකක් නොමැතිව ගමන් බිමන් යෑම සඳහා එම මාර්ග භාවිත කරති. කිසියම් වැඩි මුදලක් ගෙවා හෝ ජනතාව අධිවේගී මාර්ගයේ පොදු ප්‍රවාහන සේවා භාවිත කරනුයේ කාලය ඉතිරිවීම, ආරක්ෂාව, පහසුව වැනි කරුණු සලකාය. දැන් වසරකට වැඩි කාලයක් මේ මගී ප්‍රවාහන සේවාව ඉතා වැදගත් ලෙස ක්‍රියාත්මක වෙමින් තිබේ. ගාලු - මාතර සාමාන්‍ය මාර්ගයේ මෙන් මාරාන්තික බස් රථ ධාවන තරඟ අධිවේගයේ අප දැක නැත. මේ කාලය තුළ කිසිදු බස් රථ අනතුරක් හෝ ජීවිත හානියක් නොවීම එම ප්‍රවාහන සේවයේ විශිෂ්ටතාව පිළිබඳ සාක්ෂියකි.
කෙසේ වුව ද ආරම්භයේ සිට ම මේ රටේ පෞද්ගලික මගී ප්‍රවාහන සේවාව සිය බස් රථ කෙසේ හෝ අධිවේගී මාර්ගවලට රිංගවා ගැනීමට කැසකවමින් සිටී. බස් ගැමුණු ඇතුළු එම සම්ගම්වල ලොක්කෝ විවිධ සුරංගනා කතා ඇදබාමීන් තමන් ජනතාවට සපයන සේවාව අධිවේගී මාර්ග දක්වා පුළුල් කර දෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති. තමන් දැනට වඩා අඩු මුදලක් අය කර අධිවේගී මාර්ගවල බස් ධාවනය කිරීමට සුදානම් බව පවසති. ජනෙල්වලට තිර යෙදීම නිසාම අර්ධ සුඛෝපභෝගී නම් වන බස් රථ කඩුවෙල සිට මාතරට මගියෙකුගෙන් රුපියල් 250ක් අය කර ධාවනය කිරීමට සුදානම් යැයි පිං සෙණ්ඩුවෙති. මේවා දකින අපට නම් සිහිවන්නේ රජුගෙන් ගෙරිහම් කඩක් එලා ගන්නට අවසර ඉල්ලා බලකොටුවක් ගොඩනැඟූ පරංගියාය.
අද මේ රටේ මහා මාර්ග පද්ධතිය අනාරක්ෂිත කලාපයක් බවට පත්ව ඇත්තේ මේ අසික්කිත පෞද්ගලික බස් මාෆියාව නිසාය. මගී ජනතාව පොල් පටවන්නා සේ පටවා ගෙන සෙසු බස් රථවලට වෙට්ටු දමමින් ලංගම බස්වලට මග අවුරමින් මාරාන්තික රේස් දුවන ඔවුහු මහ මග ගමන් කරන පදිකයින්ගේ ජීවිත තුට්ටුවකට මායිම් නොකරති. මගී ජනතාවගේ සුව පහසුව තබා ජීවිතවල වටිනාකම පවා නොතකති.
කරුණු මෙසේ හෙයින් මගී ජනතාවගෙන් නාමයෙන් පවතින පෞද්ගලික බස් මාෆියාව අධිවේගයෙන් ඉවත් කර තැබීම රටේ පාලකයින්ගේ වගකීමයි. එපමණක් නොව පවතින පෞද්ගලි ප්‍රවාහන සේවාව පවා දැඩි සුපරීක්ෂණයකට ලක් කළ යුතුය. ගමන් වාර සඳහා ලබාදී ඇති කාලය නූතන මාර්ග පද්ධතියේ දියුණුවට සාපෙක්ෂව යාවත්කාලීන කළ යුතුය. එනම් නොදියුණු මාර්ගයක පැයක් ගත වන ගමන මාර්ග දියුණු කළ විට ඊට අඩු කාලයකින් යා හැකි හෙයින් ඒ අනුව කාලය ද අඩු කළ යුතුය. මගී ජනතාවගේ ආරක්ෂාව මෙන් ම පදිකයින්ගේ ආරක්ෂාව ද තහවුරු කළ යුතුය. දිගු ගමන් බස් අතරමග නතර කරන අපිරිසිදු කෑම අධික මිල ගණන්වලට අලෙවි කරන ස්ථාන පිළිබඳ සොයා බැලිය යුතුය. මාර්ග නීති කඩකරන බස් රථවල බල පත්‍ර අහෝසි කළ යුතුය. ලෝකයේ අපිරිසුදුම නිල ඇඳුම නිසි ලෙස භාවිතය උපදෙස් ලබා දිය යුතුය. එය සෙසු පොලිස්, හෙදි නිල ඇඳුම් මෙන් අනීවාර්ය කළ යුතුය. නිල ඇඳුම යනු තවත් කමීසයක් ඇඳ උඩින් දමා ගන්නා සරුවාලයක් නොව සේවා කාලය තුළ සැරසී සිටිය යුතු ඇඳුමයි. මේ සියලු අගතීන් ඉවත් කළ හැකි ක්‍රමවේදයක් නොසකසා, රටේ සෙසු මාර්ගවල දැනට පවතින ක්‍රමයට මේ අසික්කිත ප්‍රවාහන ජාලය අධිවේගී මාර්ග දක්වා ව්‍යාප්ත කිරීම යනු ඉතා අනතුරුදායක තත්ත්වයකි.
සෙසු මාර්ගවල මනා ප්‍රවාහන සේවාවක් පවත්වා ගෙන යාමෙන් පෞද්ගලික ප්‍රවාහන සංගම්වල අධිවේගයේ ධාවනයට තමන්ට ඇති සුදුසුකම් පෙන්වා දිය හැකිය. ඔවුන් එසේ කර පෙන්වන්නේ නම් අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන කටයුතු සඳහා අවසර දීම පිළිබඳ සලකා බැලිය හැකි යැයි කියා රජයට බස් ගැමුණුලා ඒ සඳහා දිරිමත් කළ හැකිය. එසේ නොමැතිව මේ මුදලාලිලා අපි ලංගමයටත් වඩා අඩුවට දුවමියි කියන බොරුවලට ආණ්ඩුව හසුවිය යුතු නැත. එසේ අඩුවට දිවිය හැකි නම් සෙසු මාර්ගවල බස් ගාස්තු වැඩි කරන්න යැයි උද්ඝෝෂණය නොකර එම මාර්ගවල අය කරන ගාස්තු අඩු කර බස් රථ ධාවනය කළ හැකිය. ඒ ඔස්සේ සිය වඩා හොඳ සේවාවක් ලබාදිය හැකිය. එහෙත් මේය උපායක් පමණි. කෙසේ හෝ අධිවේගයට ඔලුව දමා ගන්නා මේ මාෆියා කාරයෝ ලංගම බස් ටික කෙසේ හෝ ඉන් ඉවත් කර අනතුරුව අධිවේගයට ද වඩා වේගයෙන් ගාස්තු වැඩි කළ යුතු බවට පවසා වර්ජනය කරනු ඇත. එවිට ආණ්ඩුවට සිදුවන්නේ මේ කප්පම් කාරයින්ට හිස නැමීමට පමණි. අධිවේගයේ මේ වන විට පෞද්ගලික බස් මාෆියාවේ බලය තිබිණි නම් මෑතකදී සිදුවූ ගාස්තු අඩු කිරීම වෙනුවට සිදුවිය යුතුව තිබුනේ ගාස්තු වැඩි වීමක් පමණි.
එහෙත් බොහෝ විට සිදුවිය හැක්කේ මේ මුදලාලිලාගේ කොමිස් වරදානවලට ලොබින් ආණ්ඩුවේ ප්‍රවාහන නිලධාරීන් පෞද්ගලික බස්මරුවන්ට අධිවේගයේ පිස්සු කෙළින්නට අවසර ලබාදීමය. එයින් පසු සිදුවන සියලු ජීවිත හානි සහ විනාශයන්ට වගකිව යුත්තේ එම විනාශය වළක්වා ගැනීමට කටයුතු නොකළ ආණ්ඩුවයි. දැන් නියපොත්තෙන් කැඩිය හැකි දේ එවිට පොරවෙන් ද කපා දැමිය නොහැකි තැනට පත්ව තිබෙනු ඇත.
Subscribe to:
Posts (Atom)



