Wednesday, February 4, 2009

ඔබට නිදහස අවැසි නම්!!!

එක මවකගේ දරුවෝ
(කම්මැලි නොවී කියවන්න)
ඉහත සඳහන් වන්නේ ඇසෙන විටත් නින්ද යන, කියවන විට ඈනුම් යන, ලියන විට අත්හැර දැමීමට සිතෙන මාතෘකාවකි. මේ මාතෘකාව යටතේ කටයුතු කිරීමට අප තැත් කළ අවසන් අවස්ථාව එක්දහස් අටසිය දහඅටේ කැරුල්ල ය. සුද්දන්ට විරුද්ධව කෙරුණු එම කැරුල්ල පාවා දෙන ලදී. ඉන් පසු එක මවකගේ දරුවන් හැටියට කටයුතු කිරීම මරණ බිය ගෙන දෙන්නක් විය. මෙසේ කාලය ගතකරන විට අපට නිදහස ලැබිණ. එය ඉතා ලාබෙට ලැබුණු නිදහසකි. ඉන්දියාව, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියා සමඟ ගුටි ඇන ගනිමින්, ඔලු පලා ගනිමින්, බයිනෙත්තුවලින් හිල්කර ගනිමින් නිදහස දිනා ගත්තේ ය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියා ශ්‍රී ලංකාව පාලනය කළේ ඉන්දියාවේ සිටි ස්වකීය ප්‍රතිරාජයා වු ලුවී මවුන්ටිබැටන් හරහා ය. ඉන්දියාව පාලනය කරන මෙහෙයුම් ගාස්තුව යටතට ම දමා ශ්‍රී ලංකාව ද පාලනය කරගෙන යෑමට ඒ නිසා හැකිවිය. ඉන්දියාවට නිදහස දීමෙන් පසු ලන්ඩනයේ සිට ලංකාව පාලනය කිරීම බ්‍රිතාන්‍යයට පාඩු ගෙන දුන් කාරණයක් විය. මේ නිසා අතීතයේදී මැලේරියා පෙති බෙදන විට මැලේරියාව ඇති එකාට මෙන්ම නැති එකාට ද පෙති බෙදුණු පරිදි ශ්‍රී ලංකාවට ද නිදහස ප්‍රදානය කිරීමට බ්‍රිතාන්‍යය තීරණය කළේය. මේ නිසා ශ්‍රී ලංකාවට නිදහස ප්‍රදානය කිරීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ආදිපාදතැන මෙහි පැමිණි බව මිනිසුන්ට දැනුණේ නැත.. 1948 දී අප ලද නිදහස ගැන සැබෑ කතාව ඔන්න ඕක ය.

බ්‍රිතාන්‍යය අපට පුරුදු කර තිබුණේ කොටසක් ලියන මහත්තුරුන් විය යුතු බවටත්, කොටසක් තේ, පොල්, රබර් වතුවල වැඩ කරන කම්කරුවන් විය යුතු බවටත් බල කෙරෙන ක්‍රමයකි. සිංහල රජ කාලයේ පටන් භාණ්ඩ හුවමාරුවටත් අත්තමටත් වැඩ කර පුරුදු වු සිංහලයාට කුලියට වැඩ කිරීම අවනම්බුවකි. බ්‍රිතාන්‍යය මෙයට පිළිතුරු දී තිබුණේ වහලුන් සහ ඉන්දියානු දෙමළ ජනයා මෙහි ගෙන්වා කුලියට වැඩ කරවා ගැනීමෙනි. මේ හේතු කොටගෙන රටේ වී ගොවිතැන සහ වගා ව්‍යාපාර පාලු වී ගිය අතර සියලු ජනයා ලියන මහත්තුරුත් මුදලාලිලාත් බවට පත්වීමට තීරණය කළහ. අවසානයේදී නැව් එනතුරු කට ඇරගෙන බලා සිටීමට අපට සිදුවිය. කවුරුත් තමන් එක මවකගේ දරුවන් බව පිළිගත්තේ නැත. පකෂ දේශපාලනය විසින් මේ භේදය තවදුරටත් වපුරන ලදී.

නොමිලයේ ලැබුණු නිදහස, එමගින් ජාතික හැඟීමක් නැතිවීම, පරපුටු චින්තනය යන කාරණාවල අහිතකර ප්‍රතිඵලය මේ නිදහස් දින උළෙලේදී කැපී පෙනුණි. මෙවර නිදහස් උළෙල නිදහස සැමරීමේ උත්සවයකට වඩා රට නැවතත් එකසේසත් කිරීම සැමරීමේ සහ ත්‍රස්තවාදය පලවා හැරීම සැමරීමේ ජාතික උත්සවයකි. ආණ්ඩුව මේ සැමරුම කොළඹ ගාලු මුවදොර පවත්වන අතර එ.ජා.ප.ය මහනුවර කුණ්ඩසාලේදී වෙනම නිදහස් උත්සවයක් පැවැත්වීය. එ.ජා.ප.ය යනු මේ රටේ පැරණිම පකෂය වන අතර ප්‍රධානතම විපකෂය ද වෙයි. ඔවුන් වෙනම නිදහස් උත්සවයක් පැවැත්වීමෙන් පෙනී යන්නේ පකෂ භේදය තවදුරටත් වැපිරෙන බව ය. නැතහොත් ආණ්ඩුව රට එකසේසත් කිරීම කෙරෙහි ඔවුන් තුළ කිසියම් කුහක හැඟීමක් ඇති වී ඇති බව ය. එක මවකගේ දරුවන් ලෙස තවදුරටත් නො සිටීමට තීරණය කර ඇති බව ය. මෙය නිවැරදි කර ගත යුතු ය. අප අපගේ ජාතිය වෙතින් ඉවත් කරගත යුත්තේ මේ වෛරී සහගත චේතනාවයි. ඉතින් ජාතික ආණ්ඩු කොහේ හදන්න ද? මේ ක්‍රමයට ජාතික ආණ්ඩුවක් තබා මරණාධාර සමිතියක්වත් හැදිය නො හැක. ඉතා සුළු උදාහරණයක් ගතහොත් මේ චේතනා මත හදන මරණාධාර සමිතිවල අනුග්‍රහය ලබන මළමිනීවලට සිදුවන්නේ ගෙදරදීම කුණු වීමට ය. මිනිය වැළලිය යුතු බව මරණාධාර සමිතියේ කොටසක් කියනු ඇති. එසේ නොව එය පිළිස්සිය යුතු බව සෙසු අය කියනු ඇති. අන්තිමේදී කටිටියක් වළ කපන අතර අනෙක් කටිටිය දර සෑය හදති. මොනවා කරන්නටත් ඇත්තේ එක මළ මිනියකි.

අපේ රට අද එබඳු මළ මිනියකි. මේ මළ මිනිය යළි නැගිටුවීමට දේශප්‍රේමීන් සහ රණවිරුවන් ගෙන යන සටනට පණ දීම සඳහා එක මවකගේ දරුවන් ලෙස හැම දෙනාම එකතු විය යුතු ය. පකෂ භේදය, ත්‍රස්තවාදය හා වර්ගවාදය භංග වේවා! "එක මවකගේ දරු" සංකල්පය දිනේවා!
(දිවයින-09/02/05)

පෙර කල අප මුතුන් මිත්තන්ට උපතින් ලැබුණේ රට දැය සමයයි. එහෙත් අධිරාජ්‍යවාදී පිළිකාව මෙරට ගිළගත් පසු ඒ වෙනුවට ලක් උපතින් ලැබුවේ දේශපාලන පක්ෂය, වර්ගවාදය සහ හීනමානයයි. එක මවකගේ දරුවෝ ය යන හැඟීම සිත්වලින් පළා ගියේ ය. ඉතින් කෙසේ රටක් නඟින්න ද?

සමඟිය නමැති සළුවෙන් ලක් මව් ඇස කඳුලු පිසිමු. අබිමන නමැති සිතිවිල්ලෙන් ඈ වත සිනානංවමු.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !