Friday, October 18, 2024

පුහුල් හොරා කරෙන් දැනෙන පාස්කු නාටකේ...!

පාස්කු කොමිසම් සභා වාර්තාව ජනාධිපතිගේ පවුලේ ඉඩම් ආරවුලක් පිළිබඳ නොව කෝටි ගණනක් මහජන ධනය වැය කොට මේ රටේ ජනතාවගේ ජීවිත පිළිබඳ කළ විමර්ශනයක් හෙයින් ඒවා වහාම පුසිද්ධ කළ යුතු බව ප්‍රකාශ කළේ එවක විපක්ෂ මන්ත්‍රී, වත්මන් ජනාධිපතිතුමා විසිනි. 

එපමණක් නොව පාස්කු ප්‍රහාරය බල පෙරළියක් උදෙසා දියත් කළ ම්ලේච්ඡ කුමන්ත්‍රණයක් බවත් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළේ එම ප්‍රහාරය නිසා බවත් පවසමින් මාලිමා ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂක ඊබ්‍රාහිම් නානාගේ පුතුන් රාජපක්ෂලාගේ කොන්ත්‍රාත්තුවක් ඉටු කළ බවටත් ප්‍රවාද ජනගත කරමින් එම ප්‍රහාරයෙන් ඉස්ලාම් අන්තවාදීන් ගලවා ගැනීමට උත්සාහ කළ අයුරු ද අමතක නැත.

එසේම පාස්කු විමර්ශන වාර්තා ප්‍රසිද්ධ නොකරන්නේ එම ප්‍රහාරයට එවක ජනපති ගෝඨාගේ මෙන්ම අනතුරුව රනිල්ගේ සමීපතමයන් සමග ඇති සබඳතා එළිවන නිසා බවට ද නේක කතා සමාජගත කළ අයුරු ජනතාවට අමතක වන්නට හේතුවක් නැත. ඒ මල් වට්ටියට වර්තමාන සජබ කණ්ඩායම් ද අත ගැසූහ.

එවැනි පසුබිමක වර්තමාන ජනාධිපතිතුමා බලයට පත්ව කළ යුතුව පැවති පළමු රාජකාරිය මෙම විමර්ශන වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීමය. තමන් විපක්ෂයේ සිය කළ සියලු චෝදනා නිවැරදි වන බව තහවුරු කර පාස්කු කුමන්ත්‍රණය දියත් කළ අපරාධකරුවන් කුරුසයේ ඇණ ගැසීමය. 

එය නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථානයකට එල්ල කළ ප්‍රහාරයට පළිගැනීමක් ලෙස සිදු කරන බවට සහරාම් හෂීම් විනාඩි 40කට අධික කාලයක් තිස්සේ සිදුකරන පාපෝච්චාරණය බොරු කිරීමය.

එහෙත් බලයට පත්ව ඒ කිසිවක් නොකර පාස්කු විමර්ශන වාර්තා කොළ ගැලවී සුළ⁣ඟේ ගියා යැයි රට්ටු හිනස්සමින් වැල්  බයිලා ගසමින් තව දුරටත් එම වාර්තා සඟවා ගෙන සිටීම මෙම ආණ්ඩුවට කිසිසේත්ම සදාචාරාත්මක නැත. 

ඒවා ගම්මන්පිල අභියෝග කිරීමට පෙර පුසිද්ධියට පත් නොකිරීම ම ආණ්ඩුවේ දරුණු පරාජයකි. අනාගත විමර්ශන කටයුතුවලට එම වාර්තා ප්‍රසිද්ධ කිරීම ගැටලුවක් යැයි කීම ද විහිළුවකි.

එසේම දැන් පෙරළා කිසිවෙකුට මාලිමාවේ කණ්ඩායම්වලට පාස්කු ප්‍රහාරය⁣ සමග ඇති සබඳතා හෙළිවන නිසා මෙම වාර්තා සඟවන බවට චෝදනා කළ හැකිය. එම අනාවරණය ඉදිරි මහා මැතිවරණය⁣ට අවාසිදායක ලෙස බලපෑ හැකි නිසා මෙසේ ආණ්ඩුව කට්ටි පනිනවා යැයි චෝදනා කළ හැකිය. 

කොටින්ම විජිත හේරත් සඳහන් කළ වාර්තාවල ගලවන ලද කොළ ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක ඊබ්‍රාහිම් සහ ඔහුගේ පුතුන් සම්බන්ධ කොටස්, රවී සෙනෙවිරත්න, ශානි අබේසේකර සම්බන්ධ කොටස් විය හැකි බවටත් යමෙකු චෝදනා කරන්නට බැරි නැත. 

ඒ නිසා ජාතික ආරක්ෂාවට බලපාන කොටස් හැර මේ වාර්තා වහාම ආණ්ඩුව ප්‍රසිද්ධියට පත්කළ යුතුයි. ආණ්ඩුව තව දුරටත් කෝඳුරු තෙල් හත් පට්ටයයි තවත් ටිකක් ඉල්ලමින් ඊට පසුබට වන්නේ නම් ගම්මන්පිල පළා නොයා කී ආකාරයට අදාළ වාර්තා ප්‍රසිද්ධ කළ යුතුමය. 

පාස්කු ප්‍රහාරය දේශපාලන පාපන්දුවක් කරගැනීම ඒ දිවිදුන් ජනතාවට කරන බලවත් අසාධාරණයකි. ඔවුන් නැවත නැවත මරා දැමීමකි. ප්‍රහාරයකින් නොව ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකළ පිරිස පස්සේ පමණක් සොයන අය එදා දළදා මැදුර, ශ්‍රී මහා බෝධිය, අරන්තලාව, මහ බැංකුව, දෙහිවල ⁣දුම්රිය ආදී ප්‍රහාර හමුවේ එසේ කටයුතු කළ බවට සාධක නොමැත.

එසේමබආණ්ඩුව සිය සෞඛ්‍ය සහ ආයුෂ ගැන සිතන්නේ නම් වහාම පරීක්ෂණ කළ යුත්තේ ගම්මන්පිල ගැන නොව ජනපති අනුර බලයට පත්ව සති තුනක් ඉක්ම යන්නටත් මත්තෙන් මෙම වාර්තා ලීක් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ කවුද යන්න ගැනය. එවැන්නක් සැබවින්ම සිදුව ඇත්නම් එය ජාතික ආරක්ෂාවට මෙන්ම ජනාධිපතිතුමාගේ ආරක්ෂාවට ද තර්ජනයකි.

Monday, October 14, 2024

කො⁣රහේ කිඹුලන් දකිනු!

ඊයේ අනුර දිසානායක ජනාධිපතිතුමා සිය පක්ෂයේ මහා මැතිවරණ අපේක්ෂක පිරිස අමතා කතා කළා. එහි දී ඔහු කීවා, උතුරේ නායකයෙක් තමා හමු වී මහා මැතිවරණයට පසු ආණ්ඩුව සමග වැඩ කරන්න සූදානම් බව ප්‍රකාශ කළා කියලා.

ඊට පෙර ජනාධිපතිතුමා රාමාඤ්ඤ සහ අමරපුර නිකා⁣ මහානාහිමිවරුන් බැහැදුටු මොහොතේ නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ දැයි විමසූ විට ඔහු ප්‍රකාශ කළා සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ඉදිරි කටයුතු කරන බව.

අප පුල පුලා කිහිප වරක් කී පරිදිම ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 230 පිටුවේ තමයි, 2015 ආණ්ඩුව ගෙන ඒමට සැලසුම් කළ ව්‍යවස්ථාව කඩිනමින් ගෙන එන බව කියන්නේ. ඒ රට ප්‍රාන්ත ආාණ්ඩුවලට බෙදන ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව.

මේ වෙලාවේ මහා මැතිවරණයේ දී මාලිමාවට ආණ්ඩුව බලය දිය යුතුයි. ඒ කියන්නේ ආසන 113ක් දිය යුතුයි. රටෙි සංවර්ධන කටයුතු කරන්න, හොරු අල්ලන්න ඒ හොඳටම ප්‍රමාණවත්. මහින්ද රාජපක්ෂ කොටි පරාද කළෙත් ආසන 113ක් තියාගෙන.

හැබැයි කිසිසේත් ඊට වඩා ප්‍රබල බලයක් දිය යුතු නෑ. විශේෂයෙන් දෙමළ සන්ධානය සහ ආණ්ඩුව ලබා ගන්නා ආසන ප්‍රමාණය 150ට ආසන්න නොවන තැනක තැබීමට ජනතාව වගබලා යුතුයි.  ජනාධිපතිවරණය අවස්ථාවෙත් ජනතාව කිරලා මැනලා 42%ක සීමිත ජන වරමක් දීම පූර්වාදර්ශයක් කරගත යුතුයි.

දැන් ජනාධිතුමා ප්‍රකාශ කරන පරිදිම සුමන්දිරන්ලා ආණ්ඩුව එක්ක එකතු වෙලා වැඩ කරන්න සූදානම් වෙන්නේ අර ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව සම්මත කරගැනීම මිස වෙන කෙංගෙඩියක් නෙමෙයි. 

අනික් අතට නව ආණ්ඩුව තමන්ගේ පළමු මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘතිය ලෙස ඉන්දු ලංකා පාළම තැනීම ගැන අවසන් සාකච්ඡා පටන් අරගෙන. එදා ජවිපෙ කතා කළ ඉන්දියානු ව්‍යාප්තවාදය අද මාලිමාවේ කුනු බක්කියෙත් නැති බව පැහැදිලියි.

වැරදිලාවත් මාලිමාවට විශාල බලයක් ලැබුණොත් එය රට තවත් අර්බුදයකට ඇද දමන අවාසනාවන්ත යුගයක සමාරම්භය වෙන්න පුළුවන්. එය රට ආර්ථික අර්බුද කබළෙන් දේශපාලන අර්බුදය නම් ගින්නට ඇද දැමීමක්. එය රට වගේම ආණ්ඩුවේ ආයුෂත් කෙටි කරවන්න පුළුවන්. ඒ දෙකම විය යුතු නෑ.

එහෙත් අවාසනාවට මේ ප්‍රකාශවල යටිපෙළ මගින් කියැවෙන භයානක අනතුර කෙරෙහි මහා සංඝරත්නය හෝ ජාතිකත්ව කඳවුරේ පිරිස හෝ ජාතික සංවිධාන හෝ එතරම් අවදානයක් යොමු කළ බවක් පේන්න නෑ. එය රට පැත්තෙන් ඉතාම බරපතළ තත්ත්වයක්. රටේ සාමාන්‍ය ජනතාවට මේ අනතුර පහදා දෙන්න ඒ කණ්ඩායම් නිදිගැට හැර පෙරට ආ යුතුයි.෴

නාමල් උඩලමත්ත

Sunday, October 6, 2024

මහා මැතිවරණය සහ ජාතික ව්‍යාපාරයේ වගකීම...

ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ රාමාඤ්ඤ සහ අමරපුර නිකායේ මහනාහිමිවරුන් බැහැදැක ප්‍රකාශ කළේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව කටයුතු කරන අතර නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ද කටයුතු කරන බවයි. 

ජාතික ජන බලවේග 'පොහොසත් රටක් ලස්සන ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි 230 පිටුවේ සඳහන් ආකාරයට ඔවුන් 2015 යහපාලනාණ්ඩුව සමයේ ගෙන ඒමට නොහැකි වූ ව්‍යවස්ථාව කඩිනමින් ගෙන එයි.

එකල නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ලාල් විජේනායක කමිටුව මගින් ජනතා අදහස් යැයි යෝජනාවලියක් ගෙන ආ අතර එමගින් ඒකීය ශ්‍රී ලංකාව වෙනුවට ප්‍රාන්ත ආණ්ඩුවලින් සමන්විත එක්සත් රාජ්‍යයක් නැතහොත් ඔරුමිත්තනාඩුවක් යෝජනා කොට තිබිණි.

එම ඔරුමිත්තනාඩු රාජ්‍යයෙහි බුදු දහමට හිමි ප්‍රමුඛතාව ඉවත් කළ යුතු බව යෝජනා කරනු ලැබ තිබුණේ වත්මන් අගමැතිනී හරිනි අමරසූරිය මැතිනිය විසිනි.

ජාතික බලවේග මේ ගැන දැඩිව ප්‍රශ්න කරන විට ජනාධිපතිවරණය ආසන්නයේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන සමුළුවකට ගිය විජිත හේරත් කළේ බුදු දහමට ඇති ප්‍රමුඛතාව ඉවත් ඉවත් නොකරන බවත් රටේ ඒකීයභාවය සුරකින බවත් පවසා පක්ෂ යෝජනාවලිය පිළිබඳ ගෙවිඳු කුමාරතුංග මහතා ඇතුළු පිරිස ප්‍රශ්න කිරීමට පෙර සභාවෙන් පළා යාමය.


එහෙත් අවාසනාවන්ත ලෙස දැන් ජනාධිපතිවරයා මහා සංඝරත්නය ඉදිරියේ පවසන පරිදි වලංගු බෞද්ධ මහා  සම්මේලනයේ කළ විජිත හේරත්ගේ ප්‍රකාශය නොව සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එන ප්‍රකාශයයි. ඔරුමිත්තනාඩු ව්‍යවස්ථා යෝජනාවලියයි.

වර්තමාන ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන මෙම ව්‍යවස්ථාව බලාත්මක වුවහොත් වසර 2500කට අධික කාලයක් ආරක්ෂා කරගත් අපගේ රාජ්‍යයේ අවසානය සනිටුහන් තරන බවට නම් සැකයක් නැත. 

එහෙයින් එම යෝජනාවලිය නැවත ගෙන එන්නේ නම් එය 2016-2017 සමයෙහි මෙන්ම නැවත පරාජය කරලීමට ජාතිමාමක බලවේග පෙරට ආ යුතු අතර ඒ සඳහා එළඹෙන මහා මැතිවරණයේ දී ජනතාව බලගැන්විය යුතුය.

ජනාධිපතිවරණයේ දී 50% පවා නොදී 42% සුළුතර ජන වරමක් වත්මන් ජනාධිපතිවරයාට ලබා දුන් ආකාරයටම මහා මැතිවරණයේ දී මාලිමාවට ආසන 113ක ආණ්ඩුවක් පමණක් ලබා දීමට ජනතාව දැනුම්වත් කළ යුතුය.

ඊටත් වඩා වැදගත් වන්නේ බෙදුම්වාදයට එරෙහි මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිගන්නා වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමය. ජනාධිපති වී සිය පියාවත් නොකළ 13 වන ව්‍යවස්ථා ⁣සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කරන බව කී කිසිම දේශපාලන විඥානයක් ජාතිකත්වයක් නොමැති සජිත් ප්‍රේමදාසට එය කළ නොහැකිය.

ඔහු වටා සිටින හකීම්, මනො, මුජ්බර්, මරික්කාර් වැනි බෞද්ධ විරෝධීන් ඊට ඉඩ දෙන්⁣නේ ද නැත. එහෙයින් බෙදුම්වාදී ව්‍යවස්ථාව යෝජනාවලියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත් දෙමළ ජාතික සන්ධානය සමග සජිත් පාර්ශ්වය ඊට අත එසවීමේ විශාල අවදානමක් ඇත.

එහෙයින් මේ අවස්ථාවේ ජාතිකත්වයට බර බෙදුම්වාදයට එරෙහි බලවේගයක් ශක්තිමත් කිරීම ජාතික බලවේගවල වගකීමයි. 

නාමල් රාජපක්ෂලා ඉදිරියේ දී බොරු නඩුවල පටලවමින් උසාවි බන්ධනාගාරවලට කොටු කිරීමේ වැඩි ඉඩක් ඇත. එවිට ඔවුන්ට රටේ ආරක්ෂාව ගැන නොව සිය පෞද්ගලික ආරක්ෂාව ගැන සිතීමට වද වීමට කාලය ගත කිරිමට සිදුවනු ඇත. 

රාජපක්ෂලා තමන්ට එරෙහිව අතිශයෝක්තියට නගා එකල එල්ල කළ බොහෝ චෝදනාවලට පිළිතුරු නොදී ඊට එ⁣රෙහිව නීතිය හමුවට නොගොස් ජනතාව අතර ඒවා කිඳා බසින තුරු නිහඬව සිටීමේ වරද ද රාජපක්ෂලාගේමය. ඔවුන් සිතන ආකාරයට ජනතාව ඉක්මනින්  සත්‍ය වටහා නොගන්නා අතර ඒ සඳහා කාලයක් ගතවනු ඇත. ජනතාව ද colombo motor show එක මෙන් ගිනි කන වැටී ඒවා දැක සතුටු වන අතර ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව ඉදිරියට එනු ඇත.

එහෙයින්  මේ අවස්ථාවේ දිලිත් ජයවීර ප්‍රමුඛ මව්බිම ජනතා පක්ෂය ඇතුළු සර්වජන බලයෙන් වැඩි නියෝජනයක් පාර්ලිමේන්තුවට පත්කොට යැවීම රටේ ආරක්ෂාවට යහපත්ය. ඔවුන් ඉදිරිපත් කරන ව්‍යවසායකත් රාජ්‍යය යෝජනාව ද මම බෙහෙවින් අගය කරමි.

පසුගිය සමයේ බෙදුම්වාදයට ත්‍රස්තවාදයට අන්තවාදයට එරෙහි වූ ගෙවිඳු කුමාරතුංග, චන්න ජයසුමන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වසන්ත බණ්ඩාර, ගුණදාස අමරසේකර ආදී වැඩි පිරිසක් එම කඳවුර නියෝජනය කරති. මේ ඇතැමුන් ගැන පෞද්ගලිකව මට යම් ගැටලු තිබුණ ද ඒවා රටට වඩා ලොකු නැත.

මෙම පිරිස වර්තමාන ආණ්ඩුවේ රටට හිතැති යෝජනා සඳහා සහයෝගය ලබා දෙන අතර නිවැරදි මාවතේ යාමට ආණ්ඩුවට බල කරන අතර රටට අහිතකර ඕනෑම යෝජනාවක් බලපෑමක් පරාජය කිරීමට පෙරමුණ ගන්නා බව සිය අතීත භාවිතයෙන් තහවුරු කර ඇත.

 
සිය රට දේ සිරි සැප දේ !