Friday, May 17, 2013

විරු සැමරුම සහ වියැකි යන මගේ සිහින


ඒ ඓතිහාසික සිද්ධියට අදට වසර හතරකි. කිසිදා පරාද කළ නොහැකි ලොව බිහිසුණුම ත්‍රස්ත සංවිධානය යැයි නම් ලද කොටි සංවිධානය  ආණ්ඩුවේ දේශපාලන නායකත්වය යටතේ අපේ ත්‍රිවිධ හමුදාව විසින් පරාජයට පත් කොට අදට වසර හතරකි. ලොව දියුණුම අවි ආයුධ සහ තාක්ෂණික උපාංගවලින් සන්නද්ධ ඇමරිකානු හමුදාව ලොව පුරා කරන ලද සියලු යුද්ධවලින් අසාර්ථක වන පසුබිමක ගොඩ නඟන ලද බටහිර මතවාද පවා නැවත අභියෝගයට ලක් කිරීමට තරම් මේ ජයග්‍රහණය සුවිශේෂ වූවකි. එතෙක් බටහිර පිළිගත් මතාවදය වූයේ යුද්ධයෙන් කිසිදා ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි බවය. ඇමරිකාව පිට පිට ලබන පරාජයන් සාධාරණීකරණය සඳහා ද ලංකාව වැනි රටවල අරගල හිඟන්නාගේ තුවාල බවට පත් කොට සිය අවශ්‍යතා අනුව කලමනාකරණය කොට පවත්වා ගෙන යාමට ද මේ තියරි භාවිත කෙරිණි. ලංකාවේ සාම මුදලාලිලා ජීවත්වූයේ අපේ රටේ ජනතාව වෙත මේ මතවාද පොම්ප කිරීම වෙනුවෙන් ලැබෙන ඩොලර්වලිනි. එහෙත් 2009 මැයි 19 වන දින එම තියරි අභියෝගයට ලක් කිරීම ආරම්භ විය. 

අප එදා ලද ජයග්‍රහනය හුදු ආණ්ඩුවේ ජයග්‍රහනයක් නොවේ. සිංහලයා දෙමළාට විරුද්ධව ලද ජයක් ද නොවේ. අප ඒ ජයග්‍රහණය ලැබුවේ තනි රටක් ජාතියක් ලෙසය. අපි පරාජය කළේ කොටි මිස දෙමළ ජනතාව නොවේ. කොටි සංවිධානය දෙමළ තරුණයින්ගෙන් සමන්විත වුව ද දෙමළ ජනතාව යනු කොටි නොවේ. එහෙයින් අපි මේ ජයග්‍රහණය විග්‍රහ කොට ගත යුත්තේ රටේ සාමකාමී සිංහල දෙමල මුස්ලිම් හැමගේ ජයක් ලෙසය. අප පරාද කළේ බෙදුම්වාදය සහ ත්‍රස්තවාදයයි. ඊට උඩගෙඩි දුන් බටහිර බලවේගය. එදා හමුදාව ජීවිත පරිත්‍යාග කොට ලද ජයග්‍රහණය අර්ථවත් කිරීමේ වගකීම පැවරෙන්නේ ආණ්ඩුවටයි. පසුගිය වසර හතර දෙස ආපසු හැරී බලන විට අපට සතුටු විය හැකි ද? ආණ්ඩුව සිය යුතුකම් කොටස මැනවින් ඉටු කොට තිබේද? නැවත බෙදුම්වාදයට රට යොමු වීමට ඇති මං අහුරා තිබේද?


මේ සියලු ප්‍රශ්නවලට මගේ පිළිතුර නැත යන්නය. ඕනෑම සටනක් අවසානයේ වැඩි වගකීම පැටවෙනුයේ ජයග්‍රාකයා අත බව ආණ්ඩුව අවබෝධ කරගෙන නොමැත. අප විනාශ කළේ බෙදුම්වාදයේ ත්‍රස්ත හිස පමණි. එහි ප්‍රජාතන්ත්‍රවාදී හිස දැන් පෙරටත් වඩා ශක්තිමත් ලෙස ලංකාව දෙකඩ කිරීම සඳහා ක්‍රියා කරමින් සිටියි. ඉන් උතුරේ සාමාන්‍ය වැසියා ගලවා ගැනීමට ආණ්ඩුව සක්‍රිය ලෙස කටයුතු කළ බවක් දක්නට නොමැත. අනෙක් අතට 13 වැනි සංශෝධනය නමැති බෙදුම්වාදී පිළිකාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය බලය මේ ආණ්ඩුව සතු වුව ද ඒ සඳහා කිසිවක් කොට නොමැත. ඒ නිසා එදා යුද්ධයෙන් දිනාගත නොහැකි වූ ඊළම මතුදා ප්‍රජාන්ත්‍රවාදය ඔස්සේ ජාත්‍යන්තරයේ සහයෝගයෙන් දිනා ගැනීමට අවශ්‍ය රෝග බීජ තව දුරටත් නිදැල්ලේ වැඩෙන්නට හැර තිබේ. 

අපට යුද්ධ ආයුධවලින් ත්‍රස්තවාදය දිනුව ද එලෙස ජනතාවගේ හදවත් දිනාගත නොහැකිය. දකුණේ ජනතාවට මෙන්ම උතුරේ ජනතාවට ද තිස් වසරක් පුරා මේ යුද්ධය වෙනුවෙන් විශාල ජීවිත දේපොල ප්‍රමාණයකින් වන්දි ගෙවීමට සිදු විය. කොටි පරජය සමඟ ඇතැම් ද්‍රවිඩ පිරිස් අතර කිසියම් හීනමානී හැඟීමක් හට ගැනීම ස්වාභාවිකය. උතුරේ තරුණ දේශපාලකයින් බිහි කොට ආණ්ඩුවේ ප්‍රධාන තනතුරු ඔවුන්ට දෙමින් දෙමළ ජනතාවගේ අභිමානය නැවත නඟා සිටුවීමට ආණ්ඩුව ක්‍රියා කරන බවක් පෙනෙන්නට නැත.  ජීවිත හැර යුද්ධය නිසා අහිමි වූ සියල්ල නැවත දෙමියි ජනාධිපතිතුමා උතුරේ වැසියන්ට පොරොන්දු වුව ද අවසානයේ කළේ අපි ජාතික වීරයෙකු ලෙස සැලකිය යුතු ආනන්ද කුමාරස්වාමි මහතාගේ නාමය යෙදු මාවත චීන කොන්ක්‍රීට් ගොඩක් නිසා නෙලුම් පොකුණ මාවත යැයි නම් කිරීමය. මේ ආණ්ඩුවට උපදෙස් දෙන කේවට්ටයින් අතර අබැටක් මොලේ ඇති එකෙක් සිටියේ නම්  ආණ්ඩුවට උපදෙස් දිය යුතුව තිබුණේ උක්ත රඟහල ද ආනන්ද කුමාරස්වාමි රඟහල ලෙස නම් කරන ලෙසය. ඉන් නොනැවතුණු ආණ්ඩුව එදා ප්‍රභාකරන් මුලතිව් කැලේ හැදූ ගුවන්පථය සංවර්ධනය කොට ජාත්‍යන්තර ගුවන් තොටු පලක් හදනු වෙනුවට මත්තල සරුංගල් පිට්ටනියක් ද තැනුවේය.ෙ

එපමණක් නොව බහුතර බෞද්ධ ජනතාවගේ ඡන්දයෙන් තේරි පත්වූ මේ ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බුදු දහමේ ආරක්ෂාව සහ දියුණුය සඳහා ගන්නා කිසිදු වැදගත් ක්‍රියාමාර්ගයක් දැකිය නොහැකිය. රටපුරා බෞද්ධ උරුමය, බෞද්ධ සංස්කෘතික සංහාරය නොදැක්කා සේ සිටින ආණ්ඩුව සිදු කරන්නේ ඇතැම් සුළු ජාතික කණ්ඩායම්වල අන්තවාදී ක්‍රියාවලට විරුද්ධව බෞද්ධ ජනතාව නැගී සිටින තුරු ඔවුන්ගේ ඉවසීමේ සීමාව අහවර වනතුරු බොරුවට නිදා සිටීමය. බොදුබල සේනා, සිංහල රාවය වැනි සංවිධාන පෙර කී අන්තවාදයට විරුද්ධව බිහිවන සංවිධාන බව ඒවාට පහර දෙන පුස්සන්ට නොපෙනී යාම අරුමයකි. බුදු හිමි දේශනා කළ පරිදි හේතුවක් නොමැතිව ඵලයක් හට නොගනී. පෙර කී බෞද්ධ සංවිධාන ඇතැම් සුළු ජාතික අන්තවාදීන්ගේ ක්‍රියාවල ඵලය මිස අනෙකක් නොවේ. 

එසේ නම් එකී සුළු ජාතික අන්තවාදය කවර හේතුවක ඵලයක් දැයි කෙනෙක් ප්‍රශ්න කළ හැකිය. ඒ අන් කිසිවක් නොව අවුරුදු සිය දහස් ගණනක් ඈත යුගයේ ඇතැම් ආගමික ශාස්තෘවරුන් ස්වකීය ජන කණ්ඩායම්වල ආරක්ෂාව වෙනුවෙන් දේශනා කළ ඇතැම් කරුණු අද දවසේ වෙනත් සමාජ දේශපාලන පසුබිමක භාවිත කිරීම සඳහා උත්සාහ ගැනීමේ ඵලයයි. රට පුරා සෙමෙන් ලියලන මේ අන්තවාදී පිළිල වහා විනාශ කර දැමිය යුතුය. එදා ගෝත්‍රික සමාජය දෙසූ දහම් කොටස් අදට නොගැලපෙන බව ද තමන් ජීවත් වන රටේ ප්‍රධාන සංස්කෘතියට ගරු කරමින් සහයෝගයෙන් ජීවත් වීම සිය වගකීම බව ද එම කොටස්වලට තේරුම් කර දීම ආණ්ඩුවේ වගකීමයි. බෞද්ධයින් සැමට මෛත්‍රී කළ යුතුයැයි බුදුන් දෙසූ බව නිතර දේශනා කරන්නවුන් මේ පිළිබඳ වදනක් පවසනු මා දැක නැත. බෞද්ධයින් සැම විට ම සටන් කොට ඇත්තේ අවි අතට ගෙන ඇත්තේ ස්වකීය ආත්ම ආරක්ෂාව සඳහා බව ඉතිහාසය හැදෑරීමෙන් උගත හැකිය. එසේ නොව අවස්ථාවක් ඇත්නම් පෙන්වා දෙන මෙන් අපි අභියෝග කරමු. 

රටපුරා විසිර සිටින හින්දු ජනතාව විවිධ අන්තවාදී ආගමික කල්ලි විසින් නොයෙක් කූට උපක්‍රම භාවිත කරමින් සිය ලබ්ධීන්වලට හරවා ගනිමින් කරනු ලබන සංස්කෘතික සංහාරය මේ ආණ්ඩුවට පේන්නේ නැත. සිංහල බෞද්ධයින් වෙනුවෙන් උඩ පනින බෞද්ධ සංවිධානවලට වුව දකුණේ සිය අසල්වැසි හින්දු මිනිසා අන්තවාදී ආගමික කල්ලි විසින් බිලි ගැනීම ප්‍රශ්නයක් නොවේ. එහෙත් ඔවුන් අවබෝධ කරගත යුත්තේ ලබ්බට තැබූ අත දැනටමත් පුහුලට තබ ඇති බවය. දකුණේ සිංහල ගම් ආශ්‍රිතව ජීවත් වන සුළුතර හින්දු ජනතාව මුලින්ම සිය ආගමික කල්ලිවලට බිලි ගන්නා අන්තවාදීන් අනතුරුව සිංහල බෞද්ධ ජනතාව ද සෙමෙන් සෙමෙන් බිලි ගන්නට පටන් ගෙන ඇති බවට ඇස් පනාපිට සාධක තිබේ. එහෙයින් සිය අසල්වැසි හින්දු ජනතාවගේ ආගමික සංස්කෘතික අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට ඉදිරිපත් වීම සිංහල බෞද්ධ සංවිධානවල යුතුකම ද වගකීම ද බව වහා අවබෝධ කරගත යුතුය.

අනෙක් අතට අප මේ විරු සැමරුම කළ යුත්තේ දෙකඩ වී ඇති උතුරු දකුණු හදවත් යා කිරීම සඳහා මිස යුද්ධයේ අවතාර වැනි බිහිසුනු ආයුධ ප්‍රදර්ශනය කිරීම සඳහා නොවේ. රණවිරුවන් ජීවිත පූජා කළේ උතුර දකුණ යා වූ තනි රටක් දකිනු පිණිස මිස මෙලෙස අතීත අවතාර ගාලු මුවදොර හොල්මන් කරනු දකිනු පිණිස නොවේ. එහෙයින් මේ විරු සැමරුම සිංහල දෙමළ සංස්කෘතික සංදර්ශනයක් බවට පත් කළ යුතුය. එක්ව නැඟී සිටින ජාතියක සාඩම්බර ශක්තිය විදහාපාන කැඩපතක් විය යුතුය. සිංහලයාට පමණක් නොව අපේ දෙමළ සහෝදරයින්ට ද සාඩම්බරයෙන් සහභාගී විය හැකි උත්සවයක් විය යුතුය. අප ජාතිය තව තවත් එකිනෙකාට ළං කරන සොඳුරු තොටමුණක් විය යුතුය. පෙබරවාරි 4 වැනි දින කරන ආයුධ පෙළපාලි මැයි 19 වන දිනට රැගෙන නො ආ යුතුමය. අප මැයි 19 ගාලු මුවදොර රඟදැක්විය යුත්තේ උතුරේ හින්දු සංස්කෘතික අංගය. දකුණේ සිංහල සංස්කෘතික අංගය. සෙසු ජාතිවල සුන්දර සංස්කෘතික අංගය. එකී විවිධත්වය තුළ මතුවන ඒකීයත්වයේ සුන්දරත්වය විඳ ගැනීමට හැකි විසල් මනස් සහිත ජාතියක් නිර්මාණය කළ යුතුය. කොටින්ම අප දේදුන්නක සුන්දරත්වය විඳගත හැකි ජාතියක් බිහි කළ යුතුය. දේදුන්නේ සුන්දරත්වය ඇත්තේ විවිධ පාටවල සංයෝගය නිසා බව තේරුම්ගත හැකි ජාතියක් නිර්මාණය කළ යුතුය. ඒ සංයෝගයෙන් මිදුණු කල එහි දේදුන්නක් හෝ සුන්දරත්වයක් නැත. මෙහිලා මා පවසන්නේ බහු සංස්කෘතික විකාරයක් ගැන නොවන අතර මේ ඒ පිළිබඳ සාකච්ඡාවකට අවස්ථාවක් නොවේ.      

මා මේ කෙටි ලිපිය ලීවේ අප ලද විජයග්‍රහණයේ හතර වන සැමරුම සමරන මොහොතේ මා තුළ ඇති අතෘප්තිය ප්‍රකාශ කිරීම සඳහාය. එදා අපි යුධ බිමට නොගිය ද මාක්ස්වාදීන් ද බෙදුම්වාදීන් ද ඕල්කට් බෞද්ධයින් ද මේ රටේ විපක්ෂය ද (මේ රටේ ඇත්තේ ආණ්ඩුවට විපක්ෂයක් නොව රටට විපක්ෂයකි) සමඟ මතවාදීමය වශයෙන් ගැටුණෙමු. ඔවුන්ගේ මතවදා අපි පරාජයට පත් කළෙමු. අප අන්තර්ජාලය අරා සිටි බෙදුම්වාදී රංචු සමඟ අතිවිශාල සටනක් කළ බව දන්නෝ දනිති. යුද්ධය වෙනුවෙන් දකුණේ ජනතාවගේ මානසික ශක්තිය ආරක්ෂා කරගැනීම සඳහා අපි මහත් ලෙස කැපවීමු. ඔවුන් කිසියම් මොහොතක මානසික ලෙස ඇද වැටුණි නම් ප්‍රතිඵලය එතරමු සුන්දර නොවන්නට ඉඩ තිබිණි. මගේ කසාපබ්බත අඩවියේ 2009 වසර තුළ ලිපි 200 ආසන්න ප්‍රමාණයක් ලියැවෙන්නේ ඒ කාර්යයට උරදීම සඳහාය. අප එදා ලද ජයග්‍රහණය ජාතිය සතු සදාකාලික ජයග්‍රහණයක් බවට පත්වන්නේ මේ රටේ ඒකීයභාවය ද සිංහල බෞද්ධ සංස්කෘතික පසුබිම ද පිළිගන්නා දේශප්‍රේමී තරුණයෙකු උතුරින් ඇවිත් රටේ ජනාධිපති ධූරය දරන දිනකය. බෙදුම්වාදී අපේක්ෂා සුනුවිසුනු කිරීම සඳහා උතුරේ ජනතාව දකුණේ ජනතාව සමඟ එක්ව අත්වැල් බැඳ ගන්නා දවසකය. එහෙත් ආණ්ඩුවට අපේ සිහිනවලින් පලක් තිබේද? පෙට්‍රල් මිල වැඩිය කියා පාරේ දුවන වස්සන් ද පෙට්‍රල් මිල වැඩි කළාට කමක් නැතැයි කියා ජාතික දජ එල්ලා කොළඹ පරාවල් දිගේ පෙලපාලි දක්කන නාම්බන් ද දකින සිහිනය අද අප දකින සිහිනයම ද? මට මේ මොහොතේ සිතෙන්නේ සාඩම්බර දේශයක් තැනීම සඳහා ආණ්ඩුවට ඉතිහාසය විසින් ලබා දුන් අනගි අවස්ථාව විනාශ කරමින් සිටින බවය. කිසිදු දේශපාලන පරණත භාවයක් නැති අවස්ථාවදී විපක්ෂයට ඇත්තේ කෙසේ හෝ පාලන බලය ඩැහැ ගැනීමේ ආශාව පමණි. මේ තත්ත්වය තුළ අප හිස මත දිනෙන් දින නැඟ  එන කළු වළාකුලු දැක දැක ජීවත් වන්නට අපට සිදුව තිබේ.  

 
සිය රට දේ සිරි සැප දේ !